පූජිත් ජයසුන්දර සහරාන් ගැන කළ හෙළිදරව්ව

සහරාන්ගේ ක්‍රියාකාරකම් ගැන 2017 සිට බුද්ධි අංශ තමන්ව දැනුවත් කර තිබුණා.. - පූජිත් ජයසුන්දර

by Staff writer 30-09-2020 | 8:05 PM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ යළිත් සාක්ෂි දෙමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ, සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව 2017 වසරේ සිට රාජ්‍ය බුද්ධි අංශ තමන් දැනුවත් කර තිබූ බවයි.

සමාජ මාධ්‍යවල ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණය විවේචනය කරමින් අන්තවාදී කරුණු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම දැනුවත් කිරීම් කෙරුණු බව ඔහු පැවසුවේ ය. ජයසුන්දර මහතා සඳහන් කළේ, මුල සිටම මෙම ප්‍රශ්නයේ ඇති බැරෑරුම්කම තමන් තේරුම්ගෙන සිටි බවය. නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදී පොලිස්පතිවරයා යටතේ නැති රාජ්‍ය බුද්ධි සේවයට මෙම ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂණ කිරීමේ වගකීම පැවරූ බව හිටපු පොලිස්පතිවරයා පැවසුවේ ය. ඔහු කියා සිටියේ, මෙම ප්‍රශ්නයේ ඇති බරපතලකම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතාට හැඟවීමට නොහැකි වූ බවයි. මැතිවරණ සමයේ සහරාන් හා ඔහුගේ කණ්ඩායම කලහකාරී තත්ත්වයක් ඇතිකිරීමේ ඉඩක් ඇතැයි 2018 නොවැම්බර් මාසයේ හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන්ට දැනම්දී තිබූ බව ද පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ ය. මේ අතර සහරාන් හෂීම්ගේ ෆේස්බුක් ගිණුම අවහිර කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසට කළ ඉල්ලීමක් පිළිබඳ ලේඛනද අද කොමිසමට ඉදිරිපත් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/338282463950188/