"ඉන්දීය සාගරය විවෘත හා නිදහස් කලාපයක් විය යුතුයි"

"ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතුයි" - ජනපති අවධාරණය කරයි

by Staff writer 30-09-2020 | 5:36 PM

COLOMBO (News 1st) - ඉන්දීය සාගරය සියලු රටවලට විවෘත හා නිදහස් කලාපයක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී නව තානාපතිවරුන් සිව්දෙනෙකු අක්තපත්‍ර භාරදුන් අවස්ථාවේදීය. කොරියානු ජනරජය, ජර්මනිය, වතිකානය සහ ස්විට්සර්ලන්ත යන රාජ්‍යයන්හි නව තානාපතිවරු අද ජනාධිපතිවරයා හමුවී අක්තපත්‍ර භාර දී තිබේ. නව තානාපතිවරුන් සිව්දෙනාම කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට සිය ප්‍රසාදය පළ කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතු බවට දශක පහකට පමණ පෙර ප්‍රථමයෙන් යෝජනා කළේ ශ්‍රී ලංකාව බව ජනාධිපතිවරයා නව තානාපතිවරුන් හමුවේ ප්‍රකාශ කළ බවයි. අන්නෝන්‍ය ප්‍රතිලාභ සහිත සංවර්ධන සහයෝගිතාව ප්‍රමුඛ කොට සළකන බව සිහිපත්කර ඇති ජනාධිපතිවරයා උපාය මාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් බව ද අවධාරණය කර තිබේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව බොහෝ රාජ්‍යයන්ගේ ආකර්ශනයට ලක් ව ඇතැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/701449580727556/