New Diamond  තෙල් කාන්දුව:කැස්බෑවුන්ට බලපෑම්

New Diamond නැවේ තෙල් කාන්දුවෙන් කැස්බෑවුන්ට බලපෑම්

by Staff writer 29-09-2020 | 7:10 AM

COLOMBO (News 1st) - එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ සිදු වූ තෙල් කාන්දුව හේතුවෙන් ඒ ආශ්‍රීත මුහුදු කලාපයේ කැස්බෑවුන්ට යම් බලපෑමක් එල්ල වී ඇතැයි නාරා ආයතනය පවසයි.

එම ආයතනය සඳහන් කළේ, එම සත්ත්වයින්ගේ හැසිරීම් රටාවේ වෙනසක් නිරීක්ෂණය කිරීමට තම කණ්ඩායම්වලට අවස්ථාව ලැබී ඇති බවය. ඒ අනුව එම සත්ත්වයින්ට සහ සෙසු මුහුදු ජීවින්ට මෙම තෙල් කාන්දුවෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි එම ආයතනය පැවසුවේ ය. නාරා ආයතනය පෙන්වා දෙන්නේ, අදාළ මුහුදු කලාපයේ ජලයේ තෙල් සාන්ද්‍රණය ද වැඩි අගයක් ගන්නා බවයි. එම ආයතනය සඳහන් කළේ, නෞකාවේ තෙල් කාන්දුවෙන් මුහුදු පැලැටී සහ ජීවින්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පුර්ණ අධ්‍යනයක් මේ වනවිට ක්‍රියාත්මක බවයි. අදාළ අධ්‍යනයේ වාර්තාව ඉදිරි සති දෙක තුළ නීතිපතිවරයාට යොමු කිරීමට අපේක්ෂා කරන බව අප කළ විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ ය. එහි සභාපති දර්ශනී ලහදුපුර මහත්මිය පැවසුවේ, අදාළ නැව මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගන්නා තුරු සති දෙකකට වරක් ඒ ආශ්‍රීත මුහුදු කලාපයේ තත්ත්වයන් විමර්ශනයට ලක් කරන බවයි. ඉන් පසු මාසයකට වරක් එම කලාපය පිළිබඳ අධ්‍යනය කරන බව ද ඇය පැවසුවා ය. සභාපතිවරිය සඳහන් කළේ, අදාළ මුහුදු කලාපයේ වෙසෙන මුහුදු ජීවින්ගේ වෙනසක් පවතින්නේ නම් ඒ පිළිබඳව තම අධිකාරියට හෝ නාරා ආයතනයට දැනුම් දෙන්නැයි සියලු ධීවරයින්ට සහ නාවුක ප්‍රජාවට දනුම් දී ඇති බවය. මේ අතර ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට මුහුදු සැතපුම් 62 ක ආසන්න මුහුදේ පවති. දර්ශනී ලහදුපුර මහත්මිය පැවසුවේ, අදාළ නෞකාව සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතු අවසන් වූ පසු එම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගැනීමට අවසර ලබා දෙන බවයි. එතෙක් එම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බව ද ඇය පැවසුවාය. මේ අතර බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ MT NEW Diamond නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ හිරෝස් හෙලියාස් මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා ප්‍රතික්ෂේප කෙරුණි. ඔහුට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළක්වමින් නියෝගයක් නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කිරීමට ද ඊයේ නියෝග කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/359293155263483/