අද වන විට මෙරට කොරෝනා තත්ත්වය

COVID - 19 තත්තවය පිළිබඳ නවතම තතු

by Sagarika Chathumali 29-09-2020 | 11:12 AM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3363ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 3210ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 140 දෙනෙකු පමණි. අද උදෑසන වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් තිදෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇත. මේ අතර අද උදෑසන විදෙස්ගත ලාංකිකයින් 97 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණි අතර ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයේ නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිත පුද්ගලයින් සංඛ්‍යාව 297කි. මේ දක්වා නිරෝධායනය නිම කර නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 46,330ක් වන අතර තවදුරටත් මධ්‍යස්ථාන 75ක නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6,882කි. කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව ඊයේ දිනය තුළ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ 1203කි.