20ට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹේ..

20ට එරෙහිව පෙත්සම් විභාගය ලබන සිකුරාදා වනවිට අවසන් කිරීමට අධිකරණය බලාපොරොත්තු වෙයි

by Staff writer 29-09-2020 | 8:45 PM

COLOMBO ( News 1st ) : පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ආණ්ඩු පක්ෂය සිදු කිරීමට අපේක්ෂා කරන වෙනස්කම් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ය.

ඒ , ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අදාළව ඉදිරිපත්වූ පෙත්සම් සලකා බැලීම ආරම්භවූ අවස්ථාවේදී ය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් 20 වන සංශෝධනය පිළිබද ඉදිරිපත්වූ පෙත්සම් විමසා බැලීම සිදුකරනු ලබයි. අද කටයුතු ආරම්භයේදීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පැවසුවේ, පෙත්සම් විභාගය ලබන සිකුරාදා වනවිට අවසන් කරන බවයි. එබැවින් එක් නීතිඥවරයෙකුට වාචික දේශන සඳහා ලබාදුන්නේ විනාඩි 30 ක කාලයකි. පෙත්සම් 39 ක් ඉදිරිපත්වී ඇති අතර මැදිහත් පාර්ශව 7 ක්ද ඉදිරිපත්වී සිටී. ඒ අතර MTV සහ MBC මාධ්‍ය ජාලයද ශ්‍රේෂ්ඨාධිකරණයේ 20 වන සංශෝධනයට අදාළව පෙත්සමක් ගොනුකර ඇත්තේ මාධ්‍ය නිදහස සහ නිදහසේ අදහස් පල කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහායි. අද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් වාචික දේශන ආරම්භයට පෙර නීතිපතිවරයා දැනුම් දුන්නේ කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරන බවට ආණ්ඩුව තීරණය කර ඇති බවයි. අදාළ සංශෝධන ඇතුළත් ලියවිල්ල නීතිපති දප්පුලද ලිවේරා මහතා අද අධිකරණයට ඉදිරිපත් කළේ ය. විවෘත අධිකරණයට ඉදිරිපත්කළඑම ලියවිල්ලට අනුව දැනට යෝජනා කර ඇති කෙටුම්පතට සංශෝධන කිහිපයක් සිදුකිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව විගණකාධිපතිවරයා පත්කිරීම ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ විමසා සිදු කළ යුතු බවත් සුදුසුකම් ලත් විගනනවරයෙකු ඒ සඳහා පත් කළ යුතු බවත් ඊට ඇතුළත් ය. ජනාධිපති හා අගමැති කාර්යාල සහ රාජ්‍ය සමාගම් යළිත් විගණනයට යටත් කළ යුතු බවට සංශෝධන මේ ලියවිල්ලේ සඳහන් කර තිබේ. විගණකාධිපතිවරයාට අමතරව පොලිස්පතිවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාද පත් කිරීමේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ විමසිය හැකියි. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ගණන 5 ක් දක්වා වැඩි කිරීමට ද සංශෝධනවලින් යෝජනා කර තිබේ. 20 වන සංශෝධනය සම්මතවීමට පෙර මූලික අයිතිවාසිකම් කඩවිමී පිළිබඳව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විනිශ්චයට ලක්වෙමින් තිබෙන සියලු දේ තවදුරටත් විභාග කර අවසන් කළ යුතු බව ද මේ සංශෝධනවල සඳහන් ය. මේ අතර අගමැති ලේකම්වරයා පත්කිරීමේ බලය ද ජනාධිපතිවරයා යටතට පත්කිරීමට එමගින් යෝජනාවී තිබේ. යෝජිත සංශෝධන අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබෙන්නේ , එය රැස්වී වසර දෙක හමාරකට පසුවයි. කෙසේ වෙතත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා අද ප්‍රකාශ කළේ, තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේ පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ ලියවිල්ලට එරෙහිව බවයි. අධිකරණය සලකා බැලිය යුත්තේ පාර්ලිමේන්තුවේ එම ලියවිල්ල මිස කාරක සභා අවස්ථාවේ සංශෝධනය කිරීමට නියමිත යැයි කියන ලියවිල්ලක් නොවන බව සුමන්දිරන් මහතා අවධාරණය කළේ ය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ , ජනාධිපතිවරයාට පූර්ණ මුක්තිය හිමිවීමෙන් නීතියට ද ඉහළින් තනතුරක් නිර්මාණය වන බවයි. ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාමට ඇති මූලික අයිතිවාසිකම එමගින් අවහිර වන බැවින් එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවට ඔවුන් තර්ක කළේ ය. මේ නිසා පූර්ණ මුක්තිය යළි ලබාදීම තුනෙන් දෙකකින් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත විය යුතුයැයි නීතිඥවරුන් ප්‍රකාශ කළේ ය. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරීමට හැකිවීම ගැන අදහස් දක්වමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු පැවසුවේ, ඔවුන්ට විදෙස් රාජ්‍යයන් සමග දිවුරුමක් ඇති බැවින් ලැදියාවන් අතර ගැටුමක් ඇති වන නිසා ජනතාවගේ ස්වෛරීභාවයට බලපෑමක් වන බවයි. එම නිසා මෙම වගන්තියද ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ඔවුන් තර්ක කළේ ය. නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ , ජනාධිපතිවරයාගේ වගකීම්වලට අදාළ පූර්ණ වගන්තිය පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ වගන්තිය පමණක් 20 වැනි සංශෝධන කෙටුම්පතේම තවත් තැනක ඇතුළත් කර ඇති බවයි. එම වගන්තිය ද කාරක සභා අවස්ථාවේ ඉවත් වේ දැයි සැක මතුවන බව ඔහු කියා සිටියේ ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර 20 වැනි සංශෝධනය ගෙන ආ බවට අදහස් පලවුවත් එවැන්නක් සිදුව නොමැති බව නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය. ඔවුන් ප්‍රකාශ කළේ, 19 වැනි සංශෝධනය සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම කොටසක් බැවින් එය සියලු වගන්ති හා සහ සම්බන්ධ බවයි. එබැවින් 20 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නොව සමස්ත ව්‍යවස්ථාවේම මූලික හරයන් බලපෑමකට ලක්වන බව නීතිඥවරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය.