සෑම මැතිවරණ කො⁣ට්ඨාසයකටම මහල් නිවාස සංකීර්ණයක්

20 ගැන ආණ්ඩුව එක මතයක... අගමැති කියයි

by Staff writer 29-09-2020 | 9:51 AM
COLOMBO (News 1st) : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව එක මතකයක සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අගමැති බලතල සම්බන්ධයෙන් ද ගැටලුවක් මතු නොවනු ඇතැයි, සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ බලතල තිබේ ද නොතිබේ ද යන කරුණ ඇත්තේ අගමැතිවරයා අතේ බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීහු සහ පුවත්පත් කතුවරු හමුවූහ. කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ. එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, විවිධ මත එක්වී අවසානයේ එක් මතයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන බවයි. අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ පුළුල් ලෙස සාකච්ඡා කර අගමැතිවරයා ද එකඟ වන කරුණු කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇතැයි විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. එහිදී අවධාරණය කෙරුණේ 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බලය පිළිබඳව ගැටලුවක් නොමැති බවයි. මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව දැනට කිසිදු සාකච්ඡායක් නැතැයි, අවධාරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ සඟවා කිසිවක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳව ද මෙහිදී කරුණු විමසී ය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ දෙමළ ජනතාව පමණක් රටේ සියලුම ජනතාවගේ අභිලාසයන් ඉටුවන නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව එහිදී ප්‍රකාශ කළ බවයි. ධීවර ගැටලු සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට කළ යෝජනාවට ඉන්දීය අගමැතිවරයා ද එකඟතාව පළ කළ බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. මේ අතර සෑම ඡන්ද කොට්ඨාසයක් තුළම අවම වශයෙන් නිවාස ඒකක 100 බැගින් වන මහල් නිවාස ඉදිකිරීමට රජය තීරණය කර ඇති බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවති හමුවේදී අනාවරණය කළේ ය.