පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට අවධානය

රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැලණිය සරසවියේ සහභාගිත්වයෙන්..

by Staff writer 29-09-2020 | 9:53 PM

COLOMBO ( News 1st ) : පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම පිළිබඳව අද සාකච්ඡා වී තිබේ.

ඒ , තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය. ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. විද්‍යුත් , මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් පිළිබඳ ලැබෙන පැමිණිලි සංඛ්‍යාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. සියලු කරුණු සැළකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමේ දැඩි අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. COVID-19 කාලසීමාවේදී ඉවත් කළ හඬකවන ලද විදේශ ටෙලි නාට්‍ය විකාශයේදී අයකරන බදු නැවත සක්‍රීය කිරීමට ද මෙහිදී තීරණය වී තිබේ. රූපවාහිනී නාලිකා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ශ්‍රේණිගත කිරීම කැලණිය විශ්වවිද්‍යාලයේ සහභාගිත්වයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අපක්ෂපාතිව සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද නිවේදනයේ සඳහන් ය. ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර කඩිනමින් එය ක්‍රියාවට නැංවීමට මෙහිදී එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.