සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට

by Staff writer 29-09-2020 | 8:59 AM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුරාබදු නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජයවර්ධනපුර සුරාබදු වැටලීම් ඒකකයේ නියාමකවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ කොස්ගම, කලුඅග්ගල ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබුණි. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, එහිදී හංවැල්ල සිට ලබුගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් පරීක්ෂා කර නීති විරෝධි මෑන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය. එම මැන්ඩි වර්ගයේ මත්ද්‍රව්‍ය එම ජාවාරම්කරු වෙත ලැබීම පිළිබඳව විමර්ශනය කිරීමේදී අනාවරණ වූ කරුණු අනුව හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී ඊට ආධාර අනුබල දුන් තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 23 වැනි දා සැකකරුට එම මැන්ඩි මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ, සුරාබදු නියාමකවරයෙකු විසිනි. ඒ අනුව අදාළ සුරාබදු නියාමකවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය. එම වැටලීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට පත් වූ මැන්ඩි වර්ගයේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 653 යි මිලිග්‍රෑම් 380 ක් වන අතර එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්නය. අත්අඩංගුවට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය, මෝටර් රථයක් සහ ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 5 ක් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.