අසර්බයිජානය - ආමේනියාව ගැටුම් උත්සන්න වෙයි

අසර්බයිජානය හා ආමේනියාව අතර ගැටුම් තවදුරටත් උත්සන්න වෙයි

by Staff writer 29-09-2020 | 8:32 AM

COLOMBO (News 1st) - ආමේනියාව සහ අසර්බයිජානය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබේ.

මෙම ගැටුමට මුල්ව ඇත්තේ, මතභේදයට තුඩුදුන් නගෝනෝ - කරබක් ප්‍රදේශය සම්බන්ධයෙන් පවතින දේශසීමා අර්බුදයයි. අසර්බයිජාන සහ ආමේනියාව සෙබළුන් එකිනෙකා වෙත එල්ල කළ රොකට් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් සිවිල් වැසියන් සහ හමුදා සෙබළුන් රැසක් මියගොස් ඇතැයි වාර්තාවන අතර ආමේනියාව, අසර්බයිජාන ගුවන් යානයක් ද බිම හෙළා ඇතැයි වාර්තා වේ. ආමේනියා හමුදාව සඳහන් කළේ, අසර්බයිජාන යුධ ටැංකි 22 ක් සහ තව ත් වාහන කිහිපයක් විනාශ කළ අතර අසර්බයිජාන වැසියන් 370 ක් සිය ප්‍රහාරවලින් මියගිය බවයි. කෙසේවෙතත් ආමේනියාව සිය ගුවන්යානයක් බිම හෙලූ බවට කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අසර්බයිජානය, සිය වැසියන් දෙදෙනෙකු පමණක් ඊයේ ප්‍රහාරවලින් මියගිය බව සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් ඇමතූ අසර්බයිජාන ජනාධිපතිවරයා අවධාරණය කළේ, නගෝනෝ - කරබක් අර්බුදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්මතයන්ට අනුව අසර්බයිජානයේ භෞමික අඛණ්ඩතාවය තහවුරුවන පරිදි විසඳිය යුතු බවයි. ආමේනියාව වහාම නගෝනෝ කරබක් ප්‍රදේශයෙන් සිය හමුදාව ඉවත් කරගත බවට ද අසර්බයිජාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. මෙයට ප්‍රතිචාර දක්වමින් ආර්මේනියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, සිය පාලනයේ පවතින භූමියෙන් මිලිමීටරයක් වත් පසුනොබසින බවයි. ගැටුම් උත්සන්න වීමත් සමග ආමේනියාව එරට වයස අවුරුදු 18 ත් 55 ත් අතර පිරිමි පුද්ගලයන් හමුදා අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කළේ ය. දිනෙන් දින උත්සන්න වන මෙම ගැටුම ලෝක නායකයන් රැසකගේ දැඩි අවධානයට යොමුව තිබේ.