20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39 ක්

20 ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39 ක්

by Staff writer 28-09-2020 | 10:01 PM

COLOMBO (News 1st) - ජනතාව එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න ගැන තොරතුරු වාර්තාවන අතරවාරයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන දේශපාලනය උණුසුම් වී තිබේ.

මේ පනත් කෙටුම්පතට අදාළව අද පස්වරුව වනවිට පෙත්සම් 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි. සමගි තරුණ බලවේගයේ සභාපති, මයන්ත දිසානායක මහතා අද පෙරවරුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේ ය. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙන්ම එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන මහත්වරුන් අද දිනයේදී පෙත්සම් දෙකක් ගොනු කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය. ජනාතාව වෙනුවෙන් නීතිඥයෝ සංවිධානය ද අද පස්වරුවේ පෙත්සමක් ගොනු කර තිබේ. අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී එම පෙත්සම් හෙට පෙරවරුවේ සිට සලකා බැලීමට නියමිතවේ. https://www.facebook.com/NewsfirstSL/videos/1316980451804213/