13 ගැන අගමැතිවරයාට නරේන්ද්‍ර මෝදි කියූ දේ..?

13 ගැන අගමැතිවරයාට නරේන්ද්‍ර මෝදි කියූ දේ..?

by Staff writer 28-09-2020 | 8:40 PM

COLOMBO (News 1st) - 20 වන ව්‍යවස්ථා සංශෝධනය වගේම මේ දිනවල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් සංවාදයක් ඇතිවී තිබේ.

කොටසක් 13 අහෝසි කරන්න යෝජනා කරද්දී තව ත් කොටසක් කියන්නේ මේක අවශ්‍යයි කියලා. ඉන්දු - ලංකා අගමැතිවරුන් පසුගිය සෙනසුරාදා පැවැත් වූ සාකච්ඡාවේදී 13 ගැන යළි ත් සංවාදයට ලක්වෙන කරුණු මතුවී තිබේ. මේ අනාවරණය ඒ පිළිබඳවයි... 1987 අත්සන් කළ ඉන්දු, ලංකා ගිවිසුමෙන් පස්සේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හඳුන්වා දුන්නේ ය. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදා හැරීම සඳහා ව්‍යවස්ථාවට එක්කළ මේ සංශෝධනයෙන් පළාත් සභා ක්‍රමය හඳුන්වා දී තිබේ. පසුගිය සති අන්තයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති සාකච්ඡාවේදී නැවතත් 13 වන සංශෝධනය සාකච්ඡාවට ලක් විය. මධ්‍යවේදී ප්‍රශ්නය,
දැන් 13 සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රතිචාරේ මොන වගේ ද?
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය. ජනාධිපතිවරණයේ වාගේම මහ මැතිවරණයේදීත් ලංකාවේ රජයට විශාල ජනවරමක් ලැබුණා. ඒ බලය අපිට දුන්නේ ශ්‍රී ලාංකීය සියලු ජාතීන්ට සමානව සේවය කරන්න. ඒ අනුව සියලු ජාතීන්ට සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන්න අවශ්‍ය පසුබිම අපි හදනවා. එයට ඔබගේ සහයෝගය ලැබෙන බව අපි දන්නවා. ඉතාම අසීරු අවස්ථාවක වුවත් ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිවාසිකම් මුල් තැන දීලා කටයුතු කළ බවත් කියන්න ඕනේ.ඒවාගේම කොතරම් දුෂ්කර තත්ත්වයන් ආවත් අපි හුදු ජනතාවගේ ආර්ථිකය අධ්‍යාපනය, සෞඛ්‍ය අත්‍යාවශ්‍ය දේ හැකි උපරිමයෙන් සපුරා ගන්න කටයුතු කරනවයි කියන එක අපි මතක් කරන්න ඕනේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මෙතන දැන් අගමැතිතුමා විවෘත උත්තරයක්නේ දීලා තියෙන්නේ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන්. හැබැයි මේ ඒකාබද්ධ ප්‍රකාශයයේ හැටියට අපේ අගමැතිතුමා සඳහන් කරලා තියෙනවා මේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවලට අනුකූලව මේ සියලු ජාතීන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරනවයි කියන කතාව. මේ පුළුල් පිළිතුර ඇතුළේ කුමක්ද ගැබ් වෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ සම්පුර්ණ ව්‍යවස්ථා සංශෝධනයකින් මේ 13 අදාළ කාරණාවලට එන්නද? නැත්තම් 13 ක්‍රියාත්මක කරන්නද?
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
නෑ. පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක්.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
හැබැයි ඉන්දීය මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන කාරණය තමයි
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
නෑ. ඒ මාධ්‍ය කරලා තියෙන වාර්තාවන් යම් තරමකට සත්‍යයෙන් තොරයි.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
දැන් අද හින්දු පුවත්පත වාර්තා කරලා තියෙනවා අගමැතිතුමා ඉන්දියාවේදී කරපු ඒ ගොල්ලොත් එක්ක ගිහිල්ලා කරපු සම්මුඛ සාකච්ඡාවේදී දුන්න කියපු කාරණාව. 13 ඉස්සරහට යන කාරණා. මේ බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්න පුළුල් ස්ථාවරය පිළිබඳව කාරණාව. දැන් ඉන්දීය මාධ්‍ය බොහොමයක් වාර්තා කරලා තියෙන්නේ
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
මං හිතන්නේ ඒකත් වැරදි. මොකද ඒ සාකච්ඡාවලට මමත් සම්බන්ධ වුණා. 2011 මට මතක විදියට. තර්ටීන් ප්ලස් කියන එකනේ ඔය කියැවෙන්නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඔව්.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
ඔබතුමා කියන ඔය තර්ටීන් ප්ලස් කියන එක කතා කරේ. අපි අපර් හවුස් වාගේ ඇහන්නේ ගැන කතා කරා. ඉහළ පාර්ලිමේන්තුවක් සම්බන්ධව ඒ වෙලාවේ කතා කරා. ඒ වෙලාවේ කතා කරපු වෙලාවේ ආචාර්ය මං මෝහන් සිං මැතිතුමා තමයි කිව්වේ ඒ කියන්නේ තර්ටීන් ප්ලස් කියන එක එහෙම නැතුව අගමැතිතුමා අතින් නෙවෙයි කියැවුනේ. මං හිතන්නේ. එතනැන ඒ නිවැරදි කිරීම කළ යුතුයි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් පසුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වුනේ, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, සාමය හා ගරු කිරීම උදෙසා දෙමළ ජනතාවගේ අපේක්ෂා ආමන්ත්‍රණය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කර සංහිදියාව උදෙසා වන ක්‍රියාවළිය ඉදිරියට ගෙන යන ලෙස ඉන්දීය අගමැතිවරයා ඉල්ලා සිටි බවයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් අමිත් නාරන්ග්,
අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්ම මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. ඉන්දියානු රජයේ මේ පිළිබඳව ස්ථාවරය ඉතා පැහැදිලියි. අපි හැම තිස්සේම සාමය හා සංහිදියාව වෙනුවෙනුත් 13 වැනි ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියා. මම කලින් කිව්වා වාගේම මේ පිළිබඳව කරුණු අපේ අග්‍රාමාත්‍යවරයත් පෙන්වා දුන්නා.
ඒකාබද්ධ නිවේදනයට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම හමුවේදී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජනතාව දී ඇති බලය සහ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ක්‍රියාවට නැංවීම හරහා දෙමළ ජනතාවගේ මෙන්ම සියලුම ජනතාවගේ අභිලාෂයන් යථාර්ථයක් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි. මාධ්‍යවේදී ප්‍රශ්නය,
ද්වීපාර්ශ්වික සමුළුවේදී ඔබතුමත් හිටියා. ඒ අවස්ථාවේදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට අගමැති නරේන්ද්‍ර මෝදි සෘජුවම මහින්ද රාජපක්ෂ මහතාට අවධාරණය කළා ද? නැතිනම් 13 වන සංශෝධනය ගැන මොනවගේ කරුණු ද අවධාරණය කළේ කියල දෙමළ බසින් පැහැදිලි කරන්න පුළුවන් ද?
ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,
මේක මම දීර්ඝ කාලයක් තිස්සේ කියන කරුණක්. දෙමළ ජනතාවගේ දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රශ්නයේදී ඉන්දු, ලංකා ගිවිසුම හරහා ඇති කරන ලද පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි කියල මම දිගින් දිගටම කියනවා. ඒකේ වෙනසක් නැහැ. මේ පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. ඉන්දීය රජයත් පැහැදීමකින් ඉන්නවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඒ ගැන අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කළා ද? ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා, අවධාරණය කළේ නැහැ. ඔහු සිය අදහස ප්‍රකාශ කළා. අපිටත් ඒකෙ වෙනත් මතයක් නැහැ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මොකක්ද ඒ මතය
ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,
මොකක්ද? දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි. ඒකට පළාත් සභා ක්‍රමය තමයි සාර්ථක කියල එතුමා කිව්වා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
13 ක්‍රියාත්මක කරන්න කියල කිව්වෙ නැද්ද?
ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,
ඔව් ඒගැන අපිට වෙනත් මතයක් නැහැ. අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙනවා. දෙමළ දේශපාලන පක්ෂ තමයි මේක යල් පැනගිය එකක් කොස්සෙන්වත් අල්ලන්නේ නැහැ කියල කිව්වේ. නමුත් ශ්‍රී ලංකා රජය එය පිළි අරගෙන තියෙනවා. අපේ ව්‍යවස්ථාවෙත් තියෙනවා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ආණ්ඩුවේ ඉන්න සරත් වීරසේකර මහත්තය 13 අයින් කරන්න ඕනේ කියනවා. එදා ඉඳළම ඊට තමන් එරෙහි බව ඔහු සඳහන් කළා. ඉන්දියාව පටවපු දෙයක් කියල ඔහු කියන්නේ. ඒ ආණ්ඩුවේම ඉන්න ඩග්ලස් දේවානන්දා ඒ කියන්නේ ඔබතුමා 13 ඕනේ කියනවා.
ඊ.පී.ඩී.පී නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා,
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන කරුණු ගැනයි අපි කතා කළේ. ඊට පටහැනිව කිසිදු දෙයක් කතා කලේ නැහැ. එය දැනටමත් ක්‍රියත්මකයි නේද? ඉතින් ඒ ගැන සැකයක් නැහැ. සරත් වීරසේකර කියනවා. අපේ විග්නේෂ්වරන් වෙනත් එක්ක කියනවා. ඒවා ඒ අයගේ පෞද්ගලික මත. ආණ්ඩුවේ මතය ඒක නෙමෙයි.
https://www.facebook.com/NewsfirstSL/videos/621223098563936/