සුසන්තිකා ඔබට ජාතියේ ප්‍රණාමය!

සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පි⁣⁣ටියේදී ලක්මව බබළවා අදට වසර 20යි..

by Staff writer 28-09-2020 | 10:20 PM

COLOMBO (News 1st) - මීට වසර 20 කට පෙර සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ශ්‍රී ලංකා ධජය යටතේ එකාවන්ව ජයග්‍රහණය සැමරූහ.

ඒ, සිඩ්නි ඔලිම්පික් උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් දිනයේදීය. දිනය - 2000 සැප්තැම්බර් 28 ස්ථානය - සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩාංගණය අදින් හරියටම වසර 20කට පෙර අදවන් දවසක. මුළු මහත් ශ්‍රී ලාංකික දෑස් එකම අරමුණක්, එකම බලාපොරොත්තුවක් වෙනුවෙන් දෑස් දල්වා සිටි මොහොතකි. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකම බලාපොරොත්තුව බවට පත්ව තිබුණේ මලල ක්‍රීඩාවෙන් ලබා ගත හැකි ඉහළතම ගෞරවය ලෙස සැලකෙන ඔලිම්පික් පදක්කමක් මෙරටට හිමිවනු දැකීමයි. සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකා ධජය යටතේ මීටර 200 ඔලිම්පික් තරගය සඳහා එක්ව සිටියා ය. එදා සුසන්තිකාලා මිලියන ගණනක් ශ්‍රී ලංකාවෙන් ද බිහි විය. ඔලිම්පික් ඉතිහාසයේ තව ත් සුවිශේෂී දිනයක් සටහන් කරමින් ශ්‍රී ලාංකික ජාතික ධජය සිඩ්නි ක්‍රීඩාංගණයේ ඉහළ අහසට එසවුනේ ශ්‍රී ලංකාවේ අභිමානය මුළු මහත් ලෝකයටම හඬගා කියමිනි. ජාති, ආගම්, කුල භේදයකින් තොරව එකාවන්ව සුසන්තිකාගේ ජාත්‍යන්තර ජයග්‍රහණය සැමරීමට සියලුම ශ්‍රී ලාංකිකයන් පෙළ ගැසී සිටියහ. සුසන්තිකා එදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී දිනා ගනු ලැබූයේ ඔලිම්පික් රිදී පදක්කම පමණක්ම නොවේ. එදා ඇය දිනා දුන්නේ අදටත් අප සමරණ ශ්‍රී ලාංකික ක්‍රීඩාවේ ජාතික අභිමානයයි. සුසන්තිකා ඔබට ජාතියේ ප්‍රණාමය....