සෝයා බෝංචි නිසා කබලෙන් ලිපට වැටුණු ගොවියෝ

සෝයා බෝංචි නිසා කබලෙන් ලිපට වැටුණු, ගලෙන්බිඳුණුවැව ගොවියෝ...

by Staff writer 27-09-2020 | 9:48 PM

COLOMBO (News 1st) - ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම සඳහා මෙරට ගොවිතැනට මුල්තැන දිය යුතු බව බොහෝ දෙනා නිතර පවසන දෙයකි.

ඒත්, ඇත්ත තත්ත්වේ දන්න ගොවියෝ කියන්නේ ගොවිතැන දුකක් බවයි. කබලෙන් ලිපට වැටුණු, ගලෙන්බිඳුණුවැව - හුරුළුවැව ගොවීනුත් එහෙම පිරිසකි. මේ ගොවියෝ එදා ඉඳලම වගා කළේ වී.. හුරුළුවැවේ වතුර අඩු වුණු නිසා වී වගා කරන එක ප්‍රශ්නයක් විය. වී වෙනුවට සෝයා බෝංචි වගා කරන්න කියල ගොවියන්ට කිවුවේ ගොවිතැනට සම්බන්ධ නිලධාරීන්මයි. සොයා බෝංචි වගාව වී වගාව තරම් ලේසි දෙයක් නෙවෙයි කියලයි ගම්මු කියන්නේ. බිම් සැකසීමේ ඉඳලා අස්වනු නෙළීම දක්වා සෝයා බෝංචි වගාවට ලොකු මුදලක් වැය කරන්න වෙනු ඇත. අඹුදරුවන්ගේ කනකර උගස් තියලා සෝයා බෝංචි වගා කළේ, කිලෝ එකක් රුපියල් 125 ට ගන්නවා කියලා අදාළ සමාගම් පොරොන්දු වෙච්ච නිසාවෙනි. අද, සෝයා බෝංචි කිලෝවක මිල සහතික මිලෙනුත් ගොඩක් පහළට ගොස් තිබේ. මේ ප්‍රශ්නෙට මුහුණ දීල ඉන්න ගොවියෝ ගණන 665 කි. කළින් පොරොන්දු වුණු විදියට මිල ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කියල මේ අය ඉල්ලනවා.