මහජන දිනයේ අපහසුතා පැමිණිලි කරන්නැයි දැනුම් දීමක්

මහජන දිනයේ ජනතාවට සිදුවන අපහසුතා ගැන පැමිණිලි කරන්නැයි දැනුම් දීමක්

by Staff writer 27-09-2020 | 10:53 AM

COLOMBO ( News 1st ) : මහජන දිනය ලෙස ප්‍රකාශිත සඳුදා දිනයේ ජනතාවට සිදුවන අපහසුතා කඩිනමින් දන්වන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.

අමාත්‍යාංශය පැවසුවේ, ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳුදා රාජකාරි ස්ථානයේ නොමැති වීමෙන් ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවය. එවැනි ආයතන සම්බන්ධයෙන් එම ආයතන භාර අමාත්‍යාංශයට හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම් දෙන්නැයි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මීට අමතරව අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා සිය සේවා ස්ථානයේ නොමැති ග්‍රාම නිලධාරීන් සම්බන්ධයෙන් ද තම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසය. එවැනි නිලධාරීන් පිළිබඳ කඩිනමින් සොයා බලන බව ද එම නිලධාරියා සඳහන් කළේය. ලබන මස 01වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පසුගියදා චක්‍ර ලේඛයක් නිකුත් කළේ ය.