මහනුවර නිවසේ ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවට

ගිලා බැසීමට ලක් වූ මහනුවර නිවසේ ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවට

by Staff writer 27-09-2020 | 6:04 PM

COLOMBO (News 1st) - ගිලා බැසීමට ලක් වූ මහනුවර, බූවැලිකඩ නිවසේ ද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒවායේ පවතින ප්‍රමිතිය සම්බන්ධයෙන් එමගින් විමර්ශනය කරන බවයි. ඒ අනුව ගිලා බැසීමට ලක් වූ නිවසේ කොන්ක්‍රීට් කැබලි ඇතුළු ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවන් සඳහා කොළඹ ප්‍රධාන කාර්යාලයට ගෙනවිත් ඇතැයි එම සංවිධානය පැවසුවේ ය. එම පරීක්ෂණ වාර්තා ඉදිරි දින කිහිපය තුළ පළාත් ආණ්ඩුකාරවරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට ලබාදීමට නියමිත වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අදාළ නිවසේ මූලික අඩිතාලම නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලින් තහවුරු වී ඇති බවයි. මේ අතර අදාළ නිවස ඉඳිකළ මාතලේ පිහිටි කොන්ත්‍රාත් සමාගමේ හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඒ සඳහා කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි. අදාළ නිවස සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදු කරන විමර්ශන වාර්තාව නිකුත් වූ වහාම, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව ද පොලීසිය පැවසීය.