ඉන්දු – ශ්‍රී ලංකා අගමැතිවරු විශේෂ සාකච්ඡාවක

සංහිඳියාව උදෙසා 13 ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි - ඉන්දීය අගමැති

by Staff writer 26-09-2020 | 8:42 PM

COLOMBO ( News 1st ) – සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.

දෙරටේ අග්‍රාමාත්‍යවරුන් මෙම අදහස් හුවමාරු කරගත්තේ අද පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය නායකයෙකු සමග පැවැත්වූ ප්‍රථම විශේෂ සාකච්ඡාව මෙයයි. දෙරටේ කලාපීය හා ජාත්‍යන්තර කරුණු පිළිබඳ මෙහිදී අවධානය යොමුවිය. දෙරටේ නායකයිනගේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, සාමය හා සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි. සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව සහ ආරක්ෂක අංශයන්හි ශ්‍රී ලංකාවට ඉන්දියාව දක්වන සහයෝගය පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූ බව එම නිවේදනයේ දැක්වේ. දැනට ක්‍රියාත්මක යටිතල පහසුකම් ව්‍යාපෘති දෙපාර්වයේම අන්‍යෝන්‍ය අවශ්‍යතා අනුව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ඇතැයි අගමැති මෝදි විශ්වාසය පල කර තිබේ. ධීවරයින් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා කටයුතු කිරීමට ද දෙරටේ නායකයින් එකඟ වූ බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. තවත් ඩොලර් බිලියනයක මුදල් හුවමාරු පහසුකමක ඉල්ලීමක් සම්බන්ධයෙන් ද මෙම නිවේදනයේ සඳහන් වේ. අදාළ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් ද පැවැත්විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංයේ ඒකාබද්ධ ලේකම් ශ්‍රී අමිත් මහතා
අපි දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර නව මුදල් හුවමාරු පහසුකමක් සඳහා අමතර ඉල්ලීම් ද කර තිබෙනවා . ඉන්දියාවට ගෙවිය යුතු ණය ආපසු ගෙවීම කල්දැමීම සඳහා ඉල්ලීමක් කර තිබෙනවා. මෙම ඉල්ලීම් දෙකම නිල මට්ටමින් සාකච්ඡා කෙරෙමින් පවතී .