වරාය නගරයේ සිට  දියත උයන දක්වා පා පැදි මං තීරුවක්

වරාය නගර පිවිසුමේ සිට දියත උයන දක්වා පා පැදි මං තීරුවක්

by Sagarika Chathumali 25-09-2020 | 3:42 PM
COLOMBO (News1st) : කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා පා පැදි මං තීරුවක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ. කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා විහිදී යන පරිදි නගර රැසක් සම්බන්ධ වන ආකාරයට මෙම පා පැදි මං තීරුව ඉදි කිරීමට අපේක්ෂිත ය. නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වයි.ඒ.ජී. කේ. ගුණතිලක මහතා පැවසුවේ, පාසල් ළමුන්, රැකියාවන්හි නිරත පිරිස්, දෙස් විදෙස් සංචාරකයින් හා පා පැදි ක්‍රීඩාවෙහි නිරතවන පිරිස් ඉලක්ක කර ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා මූලික සැලැස්ම මේ වනවිට සකස් කර ඇති බවයි. ප්‍රධාන මාර්ගයට පිවිසෙන රථ වාහන අවම කිරීම තුළින් මාර්ග තදබදය අවම කිරීම හා පරිසරහිතකාමී ප්‍රවාහන මාධ්‍යයන් ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමේ අරමුණයි. මෙම පා පාදි මාර්ගයේ දුර කිලෝමීටර 23 ක් වන අතර පළල අවම මීටර 1.5 ක් ද උපරිමය මීටර 2.5 ක් ද වේ. මෙම මං තීරුව වරාය නගර පිවිසුමෙන් ආරම්භ වී අනතුරුව කෙටි දුරක් ගාලු පාරට සමාන්තරව ගමන්කර බාලදක්ෂ මාවතේ බේරේ වැව දෙසට හැරි ගංගාරාමය හා Colombo City Centre ගොඩනැගිල්ල අතරින් විහාර මහාදේවී උද්‍යානය දෙසට ගමන් කරනු ඇති. අනතුරුව උද්‍යානය මැදින් යොමු වන මං තීරුව නෙළුම් පොකුණ රඟහල අසලින් නිදහස් චතුරශ්‍රය තෙක් ගමන් කර ආකේඩ් ගොඩනැගිල්ල අසලින් බෞද්ධාලෝක මාවත ඔස්සේ බොරැල්ල කනත්ත වෙත ගමන් කරයි. බොරැල්ල කනත්ත පසුකර බේස්ලයින් සීමාවේ ඇති ගොල්ෆ් පිටිය හරහා කෝට්ටේ වගුරු බිම් අතරින් දියත උයන තෙක් පළමු අදියර ගමන් කිරීමට නියමිත ය. එතැන් සිට දියවන්නා ඔය ඔස්සේ පාර්ලිමේන්තු වටා විහිදී නැවත වරක් දියත උයන දක්වා පැමිණෙනු ඇති. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මීතොටමුල්ල, ශාන්ත බස්තියන් ඇළ මාර්ගය, අසලින් අලුත් කඩේ උසාවි සංකීරණය අසලින් ගමන්කර පා වෙන වෙරළ සංකීර්ණය වෙත පැමිණිමට සැලසුම් කර ඇත. පළමු අදියර යටතේ මෙම මාර්ගය තුළ කුලී පදනම මත පා පැදි ලබා ගත හැකි ස්ථාන 11ක් පවතී. ඕනෑම ස්ථානයකින් මුදල් ගෙවා පා පැදියක් ලබාගෙන මෙම ස්ථාන 11න් ඕනෑම තැනකට යළි පා පැදිය භාර දිය හැකි ය. නාගරික සංවර්ධන අධිකාරියේ පවසන්නේ, උදෑසන හෝ රාත්‍රී කාලයේ මෙම මාර්ගය භාවිත කරනු ඇතැයි, උපකල්පනය කරන බැවින් ආලෝකය අඩ අවස්ථාවල භාවිත කළ හැකි ආකාරයේ පහන් හා වර්ණ ගැන්වීම් ජාත්‍යාන්තර ප්‍රමිතියකට අනුව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි. ව්‍යාපෘතිය මෙම වසර අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 2021 වනවිට ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත ය.