පොඩි ලැසී යළි රිමාන්ඩ්

ජනපති ඇතුළු පිරිසට මරණ තර්ජන කළ පොඩි ලැසී යළි රිමාන්ඩ්

by Staff writer 25-09-2020 | 11:58 AM

COLOMBO (News 1st) - අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි ලබන 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය.

ඒ බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්ට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ නඩුවට අදාළවයි. මෙහිදි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ලබාගත් නියෝගය මත  බූස්ස බන්ධනාගාරයට ගොස් සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශවල සාරාංශය ඇතුළත් වැඩිදුර වාර්තාවක් ද ඉදිරිපත් කළේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී කියා සිටියේ තමන් එවැනි තර්ජනයක් සිදු නොකළ අතර සිදුවන අපහසුකම් පිළිබඳව පමණක් පැවසු බව සැකකරු ප්‍රකාශයක් ලබා දෙමින්  පැවසූ බවයි. ‍මෙම නඩුවේ පළමු සැකකරු ලෙස නම්කර සිටින්නේ, කොස්ගොඩ තාරකයි. කොස්ගොඩ තාරක රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව ද මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මදුෂ් ඩුබායිහි සිටියදි බන්ධනාගාර කොමසාරිස්වරයෙකු ගොස් ඔහුගෙන් පහසුකම් ලබාගෙන ඇති බවට තාරක ප්‍රකාශයක් ලබාදි ඇති නිසා ඒ පිළිබඳව අදාළ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් සහ මාකඳුරේ මදූෂ්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියේ ය. නීතිඥ සහායක් තිබේ දැයි, මහේස්ත්‍රාත්වරයා විත්ති කූඩුවේ සිටි සැකකරුගෙන් විමසු විට සැකකරු ප්‍රකාශයක් ලබා දිමට අවසර ඉල්ලා සිටිමින් කියා සිටියේ තමන් තර්ජනයක් නොකළ අතර පහසුකම් පිළිබඳව පමණක් කතා කළ බවයි. එහිදී මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ,  එය සැකකරුගේ ප්‍රකාශයේ සටහන්ව තිබෙන අතර හැම දාමත් ඇප නොතබා සිටීමට බැරි බවයි. එවිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා කියා සිටියේ මේ අයගේ ක්‍රමවේදය එය බවත් ඔවුනගේ සහය පිරිස් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සැකකරුවන්ට ආරක්ෂාව සලසමින් ඔවුන් වටා සිටින බවයි. මොවුන් ආපන ශාලාවෙන් දින කිහිපයකට සරිලන ආහාර ගබඩා කර ආහාර වර්ජනය ආරම්භ කර ඇති අතර බන්ධනාගාරය තුළ එවැනි දේ සිදු වන්නේ නම්, බන්ධනාගාරය අධිකරණයට වාර්තා කළ යුතුව තිබූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ ය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ පළමුවන සැකකාර කොස්ගොඩ තාරක සතු ගිනිඅවි විශාල ප්‍රමාණයක් හෝමාගම ප්‍රදේශයෙන් සොයාගත් අතර දෙවන සැකකරු 2016 වසරේ මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධවි ඇති බවට අනාවරණය වි ඇති බවයි. ආරක්ෂාව සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයක් කර තිබූ අතර තමන් පෙර දිනයේ ඉල්ලා සිටියේ සැකකරුවන්ට විශේෂ ආරක්ෂාවක් නොව අධිකරණයට පැමිණෙන ජනතාවට ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීම බව පැවසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන බව ද කියා සිටියේ ය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා ප්‍රධාන පොලිස් පරික්ෂක ජයසේකර,පොලිස් පරීක්ෂක පොල්වත්ත යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූහ. විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ සැකකරු අද අධිකරණයට රැගෙන විත් සිටි අතර අධිකරණය අවට ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබිණ. https://www.youtube.com/watch?v=UIGwUQ0RYXs&feature=youtu.be