රටට අහිතකර ජාත්‍යන්තර වෙළඳගිවිසුම් ගැන ජනපති කියයි

රටට අහිතකර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් රැසක් ගැන ජනපති කියයි

by Staff writer 24-09-2020 | 7:31 AM

COLOMBO (News 1st) - අත්සන් කර ඇති ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් රැසක් රටට හිතකර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රටට වාසිදායක සහ වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි අයුරින් එම ගිවිසුම් සමාලෝචනය කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ, අපනයන සංවර්ධන සභාව යළි සක්‍රීය කරමින් රැස්වූ අවස්ථාවේදීය. නිල බලයෙන් ජනාධිපතිවරයාට සභාපතිත්වය හිමිවන අපනයන සංවර්ධන සභාව එලෙස රැස්වූයේ වසර 28 කට පසුවයි. අපනයනකරුවන් අධෛර්යමත් කරන අනවශ්‍ය නීති රීති ඉවත් කළ යුතු බව, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය. මේ අතර ආයෝජකයින් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැලසුම් කර ඇති නව නිපැයුම් නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ, මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී. ආයතන රැසක් කළ පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළ දිනාගත හැකි නව නිපැයුම් රැසක් කර ඇතැයි ද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය. පොලී අනුපාත, මූල්‍ය ඒකකය සහ කොටස් වෙළෙඳ පොළ ස්ථාවරත්වය සතුටුදායක මට්ටමට හැරී ඇතැයි නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ, ප්‍රමුඛතා 10 ක් හඳුනාගෙන වේගවත් ආර්ථික සංවර්ධනයකට මග සැලසීම සිය අරමුණ බවයි. නිසි ප්‍රචාරණ ව්‍යාපාරයක් මගින් තානාපතිවරුන්ගේ සහායෙන් ආයෝජකයින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ යුතු බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. අන්තර්ජාතික ව්‍යාපාරික ප්‍රමුඛයන් සඳහා කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් කාර්යාලයක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු විය. ඊට අමතරව සිමෙන්ති සහ යකඩ මිල පහළ දැමීමේ හැකියාව සොයා බලන්නැයි ද ජනාධිපතිතුමා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.