නවසීලන්තය Mask පැළඳුමෙන් ඈත්වෙයි

නවසීලන්තය Mask පැළඳුමෙන් ඈත්වෙයි

by Sagarika Chathumali 24-09-2020 | 4:02 PM
COLOMBO (News 1st) : ලොවම බිලි ගත් Covid-19 වසංගතය ඉතා සීරුවෙන් පාලනය කළ රටවල් අතරින් නවසීලන්තයට ද හිමි වන්නේ, පුමුඛ ස්ථානයකි. අද වන විට නවසීලන්තය වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලන කර ඇති අතර පනවා තිබූ සීමා ලිහිල් කරමින් ජන ජීවිත යාථා තත්ත්වයට පත් කිරීමට නවසීලන්ත රජය අවශ්‍ය පියවර ගෙන තිබේ. නවසීලන්ත රජය නිවේදනය කර සිටියේ, වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ජනතාවට අනිවාර්ය කර තිබූ මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවන බවයි. තව ද ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර විවාහ උත්සව, ක්‍රීඩා උත්සව වැනි අවස්ථාවලදී තවදුරටත් සමාජ දුරස්තභාවය ආරක්ෂා කිරීම අවශ්‍ය නොවනු ඇති. සියලු දෙනාට සුපුරුදු පරිදි සේවා ස්ථාන වෙත වාර්තා කළ හැකි අතර සේවා ස්ථාන තුළදී මුව ආවරණ පැළඳීම ද අනිවාර්ය නොවේ. කෙසේ වෙතත් ඕක්ලන්ඩ්හි වැසියන් සහ ගුවන් මගීන්ට තවදුරටත් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර ඊට හේතුව පසුගිය අගෝස්තු මාසයේදී යළිත් එහි වෛරසය හිස ඔසවන්නට වීමයි. කොවිඩ් -19 වංසංගතයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව නවසීලන්තය පුළුල් ලෙස පැසසුමට ලක් වූ අතර ජුනි මාසය වනවිට එරට පොදු ජන ජීවන රටාව කෙමෙන් යථා තත්ත්වයට පත් වන්නට විය. මේ අතර පසුගිය සතියේ සිය සහයකයින් පිරිසක් හමුවූ අවස්ථාවේ මුව ආවරණ නොපැළඳ සෙල්ෆි ඡායාරූපයක් ගැනීම පිළිබඳව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් සමාව අයැද තිබේ. නවසීලන්තය තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1468ක් වන අතර වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 25කි.