ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් දිවියෙන් සමුගනී

by Staff writer 24-09-2020 | 7:18 PM

News 1st – ක්‍රිකට් වෙනුවෙන් කැප වෙමින්, ක්‍රීඩා කරමින්, විස්තර විචාරයටද දායක වූ ඩීන් ජෝන්ස් ඉන්දියාවට පැමිණ සිටියදී හදිසියේ දිවියෙන් සමුගෙන තිබේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ මතකයෙන් කිසිදා ඈත් නොවන ඩීන් ජෝන්ස්, අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 59 කි. මෙවර අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරක කටයුතු සඳහා ඉන්දියාවට පැමිණ සිටියදී හෘදයාබාදයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්ත වූයේ ඉන්දියාවේ මුම්බායි නුවරදීය. 1984 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගත් ඩීන් ජෝන්ස් ටෙස්ට් තරග 52 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 164 කදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළේ ය. ඔහුගේ අවසන් ටෙස්ට් තරගය ලෙස සටහන්ව ඇත්තේ, 1992 වසරේ ශ්‍රී ලංකාව සමග මොරටුව -ද සොයිසා- ක්‍රීඩාංගණයේ පැවැති තරගයයි. ඔහු ටෙස්ට් ලකුණු 3631 ක් සහ එක්දින ලකුණු 6068 ක් රැස් කර තිබේ. ඩීන් ජෝන්ස්, 1987 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය හිමි කර ගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉහළ දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කාගේත් ආදරය දිනා ගැනීමට සමත් විය. ඔහුගේ හදිසි නික්ම යෑම පිළිබඳව දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් කණගාටුව ප්‍රකාශ කර තිබේ.