අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුව ක්‍රමවේදයේ අසාර්ථක බව

2012 සිට අන්තවාදයට එරෙහි ක්‍රමවේද අසාර්ථකවීම අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුවයි - පූජිත් ජයසුන්දර

by Staff writer 23-09-2020 | 7:09 PM

COLOMBO (News 1st) - 2012 වසරේ සිට අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ක්‍රමවේද අසාර්ථකවීම අප්‍රේල් 21 ප්‍රහාරයට හේතුවක් වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද යළිත් සාක්ෂිදෙමිනි. පොලීසිය ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන නතර කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට උපදෙස් දුන් බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද කොමිසම හමුවේ කියා සිටියේ ය. ඔහු පැවසුවේ, එම කාර්යය රාජ්‍ය බුද්ධි අංශයට පමණක් සීමා කළ බවයි. හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා අතර ඇති වූ ගට්ඨනයත් අනවශ්‍ය දේශපාලන මැදිහත්වීමත් නිසා තමන්ට රාජකාරී ඉටුකිරීමේදී බාධා ඇති වූ බව ජයසුන්දර මහතා කියා සිටියේ ය. ඇතැම් තීරණ ගැනීමේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා පරස්පර උපදෙස් ලබාදුන් බව ද ඔහු අනාවරණය කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පතිවරයා පැවසුවේ, 2018 ඔක්තෝබර් 28 වැනි දායින් පසුව තමන්ට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට සහභාගිවීම හිටපු ජනාධිපතිවරයා විසින් තහනම් කරනු ලැබූ බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක සේවය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ ස්ථාන මාරුව පිළිබඳව තමන් සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇති වූ මතභේදය ඊට හේතු වූ බව ද ඔහු පැවසීය. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා යන මහත්වරුන්ට සහ සහායක රදගුරු හිමිවරුන් තිදෙනෙකුට තම නීතිඥවරුන් සමග හෙට උදෑසන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද දැනුම්දීමක් කෙරුණි. මෙම කැඳවීමට හේතුවී තිබුනේ හිටපු ජනාධිපතිවරයා සහ කොළඹ අගරදගුරු හිමිපාණන් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදන දෙකක් සම්බන්ධයෙන් කොමිසම තුළදී කරුණු සාකච්ඡාවට ලක්වීමයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතිඥවරයා සමග අද පස්වරුවේ යළි ත් ජනාධිපති කොමිසමට පැමිණියේ ය. හිටපු ජනාධිපතිවරයා එහි පැමිණියේ කොමිසමේ කැඳවීමකින් තොරවයි. මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි විමර්ශන අවසන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ ය. අතිරේක මහේස්ත්‍රාත් ආර්.යූ ජයසූරිය මහත්මිය හමුවේ අද කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, විමර්ශනයේ උදෘත නීතිපතිවරයාට යොමු කර ඇති බැවින් නීතිපති උපදෙස් වාර්තා කිරීමට දිනයක් ලබාදෙන ලෙසය. ලබන වසරේ මාර්තු 17 වැනි දාට නඩුව යළි කැඳවීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට නියෝග කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/327490018358898/