ග්‍රාම නිලධාරීවරුන්ට චක්‍රලේඛයක්

ලබන 01 වැනි දා සිට ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී විධිමත් කරමින් චක්‍රලේඛයක්

by Staff writer 23-09-2020 | 4:43 PM

COLOMBO (News 1st) - ලබන මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීවරුන්ගේ රාජකාරී කටයුතු විධිමත් කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

චක්‍රලේඛය මගින් පෙන්වා දී ඇත්තේ, ග්‍රාම නිලධාරීවරුන් සිය විවේක දින හැර දින 6 ක් පැය 24 පුරා තම කොට්ඨාසය තුළ රාජකාරී ඉටු කිරීමට බැඳී සිටින බවයි. අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත්, සෙනසුරාදා දින දහවල් 12.30 දක්වාත් ග්‍රාම නිලධාරීවරුන් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතු වේ. සඳුදා දිනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කැඳවීම් හා අවශ්‍යතා අනුව කටයුතු කළ යුතු අතර ඉදිරි දින 3 න් එක් දිනක් විවේක දිනය ලෙස ද ඉතිරි දින දෙක ක්ෂේත්‍ර රාජකාරි සඳහා ද යොදා ගත යුතු බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකාරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 16/2020 ලෙස එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.