දුම්රියමාර්ග සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව නතර කෙරේ

දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කෙරේ

by Staff writer 23-09-2020 | 11:38 AM

COLOMBO (News 1st) - කොළඹ – මාලඹේ සැහැල්ලු දුම්රිය සේවය ඇතුළු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව නතර කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.

අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතා සඳහන් කළේ, දැනට පවතින විදේශ විනිමය ගැටලු හේතුවෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත මේ පියවර ගත් බවයි. ඒ අනුව අදාළ සියලු ව්‍යාපෘති යළි සමාලෝචනය කිරීමට කමිටුවක් ද පත් කර තිබේ. මේ යටතේ රාගම කොළඹ දුම්රිය මාර්ගය , පානදුර කොළඹ දුම්රිය මාර්ගය ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ද නැවත සලකා බැලෙනු ඇත. ලේකම්වරයා පැවසුවේ අදාළ කමිටුවේ නිර්දේශ මත අත්‍යවශ්‍ය ව්‍යාපෘති ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. දේශීය අරමුදල් උපයෝගී කර ගනිමින් එම ව්‍යාපෘති ප්‍රමුඛතාව මත පෙළ ගස්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේය.