කඩා වැටුණු ගොඩනැගිල්ල ගැන සෙවීමට පොලිස් කණ්ඩායමක්

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීමට ගත් අනුමැතිය ගැන සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

by Staff writer 22-09-2020 | 10:09 AM

COLOMBO (News 1st) - මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ ආයතනවල අනුමැතිය නිසි පරිදි ලබා ගෙන ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් අනුයුත්ක කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම යොදවා ඇති බවයි. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ, මූලික විමර්ෂණවලදී තහවුරු වූ තොරතුරු අනුව කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකිරීමේදී අදාළ ආයතනවලින් ලබා ගත් අනුමැතීන්ට පටහැනිව ඇතැම් කොටස් ඉදිකර ඇති බවය. එම විමර්ශන වාර්තාවලට අනුව නිසි ප්‍රමිතියෙන් තොරව අදාළ ගොඩනැගිල්ල ඉදිකර ඇති බවට තහවුරු වුවහොත්, අපරාධ චෝදනා යටතේ වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලීසිය පැවසීය. මහනුවර, බූවැලිකඩ නිවස ගිලා බැසීමට හේතුව ලිහිල් පාංශු ස්ථරයක් මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූවිද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ, ගොඩනැගිල්ලේ බර දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි. එම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක් ආරම්භ වන ප්‍රදේශයක බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය. මෙම පස්මහල් නිවස ගිලා බෑසීමෙන් සිදු වූ අනතුරින් කුඩා බිළිඳියක සහ ඇගේ මව්පියන් මිය ගියහ. මේ අතර මහනුවර නගර සීමාවේ ඇති අවිධිමත් ගොඩනැගිලි බවට සැක සහිත ගොඩනැගිලි පරීක්ෂා කිරීම සඳහා දසපුද්ගල විශේෂඥ කමිටුවක් පත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පියවර ගෙන තිබේ. ඔහු සඳහන් කළේ, එම විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාව අද උදෑසන පැවැත්වීමට නියමිත බවයි.