නැගෙනහිර වෙරළේ ධීවර කටයුතුවලට අනතුරු ඇඟවීමක්

නැගෙනහිර වෙරළේ ධීවර කටයුතුවලට අනතුරු ඇඟවීමක්

by Staff writer 22-09-2020 | 10:35 AM

COLOMBO (News 1st) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතුවලින් තවදුරටත් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබාදී තිබේ.

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කළේ, බහුදින ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. ඊට අමතරව නිරිත, දකුණ සහ ගිණිකොන දිග ප්‍රදේශවලින් මුහුදු යන එක්දින සහ කුඩා ධීවර යාත්‍රා ද මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්වන්නැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය. සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර මධ්‍යම, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවති. උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැකිය. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමනු ඇත. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60) දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.