එක්සත් ජාතීන්ගේ සංවිධානය75 වැනි සංවත්සරය සමරයි

එක්සත් ජාතින්ගේ 75 වැනි සංවත්සරයට ලෝක නායකයින් රැසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙයි

by Staff writer 22-09-2020 | 9:19 AM

News 1st - එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 75 වැනි සංවත්සරය සනිටුහන් කර තිබේ.

ලෝක යුද්ධ වැළැක්වීම, අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, අන්තර්ජාතික නීති සැකසීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇත. මෙවර එහි තේමාව වී ඇත්තේ, බහුපාර්ශ්විකවාදය විකල්පයක් නොව අවශ්‍යතාවයක් යන්නයි. කොරෝනා වෛරස තත්ත්වය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව අතර සහයෝගීතාව වර්ධනය කිරීම මෙවර එහි තවත් අරමුණක් වී තිබේ. සංවත්සරය ඊයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විය. මෙහිදී ලෝක ප්‍රජාව මේ වනවිට මුහුණ දී ඇති ගැටලු හා ඒවායේ විසඳුම් සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රාජ්‍යයන්හි නායකයින් 160 දෙනෙකු වීඩියෝ තාක්ෂණය ආධාරයෙන් සංවත්සරය සඳහා සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මෙහිදී ඇෆ්ගනිස්ථාන ජනපති අස්රෆ් ගානි සඳහන් කළේ, ගෝලීය ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාසය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි. අමෙරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් සඳහන් කළේ, බහුතරයක් ලෝක නායකයින් කෙසේ පැවසුවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් තමා එකඟතාවය පළ කරන බවය. යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මිචෙල් අවධාරණය කළේ, සෑම රාජ්‍යයක්ම අනෙකා වෙනුවෙන් වගකිව යුතු බවයි.