by Staff writer 22-09-2020 | 6:28 PM
COLOMBO ( News 1st ) : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දෙමින් කළ ප්‍රකාශයකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හෙට දිනයේදී නියෝගයක් නිකුත් කිරීමට සූදානම්ව ඇත.
අද දිනයේ සාක්ෂි විමසීම අවසන්වීමෙන් පසුව කොමිසම මේ බව දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමට සිය නීතිඥවරයා සමග පැමිණ සිටියේ ය.
කොමිසමේ දැනුම් දීමකින් තොරව හිටපු ජනාධිපතිවරයා පැමිණ තිබිණි.
පසුගියදා කොමිසම හමුවේ සාක්ෂිදෙමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයකට අදාළව පලවූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කර තිබුණි.
හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා අද කියා සිටියේ, මෙම ප්‍රකාශය ජනාධිපති කොමිසමේ බලය හෑල්ලුවට ලක්කිරීමක් මෙන්ම තම සේවාදායකයා බියට පත්කිරීමක් බවයි.
එම නිසා හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලීමක් කොට ඇත.
එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ , හිටපු ජනාධිපතිවරයාට භාෂණයේ නිදහසක් ඇති බවයි.
මුලු රටටම සත්‍ය දැනගැනීම පිණිස හිටපු ජනාධිපතිවරයා එම නිවේදනය නිකුත් කළ බවද ඔහු කියා සිටියේ ය.
ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, එම නිවේදනය කොමිසම අවලාදයට ලක්කිරීමක් හෝ සාක්ෂිකරුවන් බියවැද්දීම සඳහා නිකුත් කළ එකක් නොවන බවයි.
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ කළ ඇතැම් ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද පසුගියදා ප්‍රකාශයක් නිකුත් කළ බව ඔහු සිහිපත් කළේ ය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති කොමිසමට සහයවන අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කියා සිටියේ, එම ප්‍රකාශයෙන් අපරාධ වින්දිතයින් හා සාක්ෂිකරුවන්ට සහය ලබාදීම හා ආරක්ෂා කිරීමේ පනත මෙන්ම විමර්ශන කොමිෂන් සභා පනතද උල්ලංඝණය කර ඇති බවයි.
විමර්ශන නිලධාරීන් හමුවේ ලබාදී ඇති සාක්ෂිය ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කිරීම හරහා සාක්ෂිකරුවෙකු තුළ බිය වැද්දීමක් සහ කොමිසම හෑල්ලුවට ලක්කිරීමක්ද සිදුවන බව ඇය පෙන්වා දී ඇත.
කොමිසම ඉදිරියේ නීතිඥවරුන්ට හරස් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබාදී තිබියදී මෙවන් ප්‍රකාශ නිකුත් කිරීම පිළිගත නොහැකි බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය අවධාරණය කළා ය.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එහිදී කියා සිටියේ, එම ප්‍රකාශ හරහා කොමිසමට හානියක් සිදුවී ඇත්නම් හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර ඇති එම ප්‍රකාශය ඉවත් කර ගැනීමට සූදානම් බවයි.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන ඔක්තෝම්බර් 5 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අද නියෝග කොට ඇත.
අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ඔක්තෝම්බර් 6 වනදා පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.