COVID-19: රැකියා අහිමි වූවන් සඳහා නව ක්‍රමවේදයක්

COVID-19 නිසා රැකියා අහිමි වූ විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් රැකියා සඳහා අනුමැතිය දීමේ නව ක්‍රමවේදයක් - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

by Staff writer 21-09-2020 | 10:40 AM

COLOMBO (News 1st) : කොරෝනා හේතුවෙන් රැකියා අහිමි වී සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියා කිරීම සඳහා අනුමැතිය දීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය පැවසුවේ නව ක්‍රමවේදය සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි චක්‍රලේඛයකින් විදේශ රැකියා නියෝජිතයින් වෙත දන්වා ඇති බවයි. කොරෝනා හේතුවෙන් විදේශ රටවලදී රැකියා අහිමිව, රැකියා ගිවිසුම් කාලය අවසන්ව මෙරටට නැවත පැමිණීමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින්ට එම රටේ වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලබාදීමේ පහසුකම් මෙමගින් සැලසෙනු ඇති. මේ සඳහා අවශ්‍ය අනුමැතිය හා ආරක්ෂිත මුද්දරය ගමන් බලපත්‍රයට ලබාදීමේ කටයුතු අදාළ ශ්‍රමිකයා සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශය මගින් සිදු කරගත හැකි වේ. අවශ්‍ය ලේඛන මෙරට සිටින රැකියා නියෝජිතයින් මගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ විදේශ නියෝජිතයින් වෙත යොමු කිරීමෙන් පසු ඉහත පහසුකම ලබාගත හැකි බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.