ගිලා බැස්ස ගොඩනැගිල්ලට යාබද තවත් පවුල් ඉවත් කෙරේ

මහනුවර ගිලා බැස්ස ගොඩනැගිල්ලට යාබද තවත් පවුල් කිහිපයක් ඉවත් කෙරේ

by Staff writer 21-09-2020 | 6:50 AM

COLOMBO (News 1st) : මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක ආරම්භක ප්‍රදේශයක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ, අදාළ නිම්නාකාර ප්‍රදේශයේ ලිහිල් පාංශු ස්ථර මත එම පස් මහල් නිවස ඉදිකර ඇති බවයි. එහි බර දරාගත නොහැකිවීම ගිලා බැසීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය. පවතින තත්ත්වය යටතේ එම ස්ථානය ආශ්‍රිතව පවතින පවුල් 4 ක් තාවකාලිකව ඉවත් කර ඇති බවද භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ ය. මේ අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ එම පස්මහල් නිවස ගිලා බැසීමට භු කම්පන තත්ත්වයක් හේතු වී නොමැති බවයි. මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටා තිබූ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බෑසීමෙන් ඊයේ කුඩා බිළිදියක ඇතුළු තිදෙනෙකු ජීවික්ෂයට පත්විය. යාබද පිහිටි නිවසක් මතට එය කඩා වැටීමත් සමග එහි සිටි නිවැසියන් 6 දෙනෙකු සුන්බුන් අතර සිරවූ අතර තිදෙනෙකු ඉන් ගලවා ගැනීමට යුද හමුදාව හා පොලීසිය සමත් විය. අනතුරින් ජීවිතක්ෂයට පත් චමිල ප්‍රසාද් ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුගේ බිරිඳ අචලා ඒකනායක නීතීඥවරියෙකි. පසුගිය වසරේ නොවැම්බර් මස විවාහපත් ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති එකම දරුවාද අනතුරින් මිය ගියේ ය.