මහනුවර අනතුරට හේතුව ?

මහනුවර අනතුරට හේතුව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හෙළි කරයි

by Staff writer 21-09-2020 | 8:09 PM

COLOMBO (News 1st) - මහනුවර, බූවැලිකඩ නිවස ගිලා බැසීමට හේතුව ලිහිල් පාංශු ස්ථරයක් මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූවිද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පැවසුවේ, ගොඩනැගිල්ලේ බර දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවය. මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක් ආරම්භ වන ප්‍රදේශයක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ද එහි පැමිණ නිරීක්ෂණය කළේ ය. ගිලා බැසිමට ලක් වූ නිවස ආසන්නයේ මාර්ගයේ ඉරිතලා යම් කිහිපයක් ද එහිදී නිරීක්ෂණය විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා,
මහනුවර ප්‍රදේශයේ මේ තියන බෑවුම්වල මේ ප්‍රශ්නය හැම තැනම තියනවා මේ එක තැනක් විතරයි මෙතන පරන කඳුරක් මේ කඳුර කලින් ජලය ගලා ගිය කඳුරක් සෑහෙන කාලෙක ඉඳන් මේක අවහිර වෙලා තිබිලා තියනවා. නමින්ම කියවෙන පරිදි මේක බූවැලිකඩ මේකේ භුවැල්ල උඩ තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තෙන්ම පාදම ෆවුන්ඩේෂන් එක පිහිටි පාෂාණයේ ඉඳන් මේක කරගෙන ඇවිල්ලා තිබුණා නම් මෙහෙම අනතුරකට ලක්වෙන්නේ නෑ කියන එක තමයි මගේ විශ්වාසය පොළෙවට නොගැලපෙන දාරගන්න බැරි බරක ගොඩනැගිල්ලක් නිර්මාණය වුණ හින්දා තමයි මේ අනතුර වෙලා තියෙන්නේ
මේ අතර ගිලා බැසීමට ලක් වූ නිවසේ හිමිකරුවන අනුර ලෙව්කේ මහතා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශක් සිදු කරමින් පැවැසුවේ, නිවස කඩා වැටීමට පෙර අසල්වාසීන් දැනුවත් කිරීමට තමන්ට කාලයක් නොතිබුණු බවයි. පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ මහතා,
මේ අල්ලපු ගෙදරට මං පැන ගත්තේ ඒ වෙලාවෙම. ඇඳිවත පමණයි අපි අරගෙන පැන්නේ එළියට. මගේ දුව මේ පාර ඒ ලෙවෙල් කරනවා. එක හමාරයි පාන්දර එයා පාඩම් කරා. කට්ටිය ඔක්කෝම එයා පාඩම් කරන තැන ඉඳගෙන හිටියා. එක හමාරට විතර නිදා ගන්න ගියා. නිදාගන්න ගිහිල්ලා ඉවර වෙලා පාන්දර හතරට හතරයි කාලට විතර අපිට ඇහුනා දඩස් දොඩොස් ගාලා සද්දක්. ඩක් ඩොක් ගාන සද්දෙට අපි බැලුවා මොකද්ද මේ සද්දේ කියලා. අල්ලපු ගෙදරින් අපිට කිව්වා ඒ ගොල්ලන් ටෝච් ගහ ගහ හිටියා අපේ පැත්තට. සමරසිංහ කියලා එයා කිව්වා එක පාරටම මිස්ටර් ලෙව්කේ ඔබතුමාගේ ගේ පුපුරනවා කියලා. කියපු ගමන්ම අපි ටක් ගාලා එළියට එනකොට එළියට එන්න බෑ ගේ ඇතුලේ ටයිල් ඔක්කෝම ඉස්සිලා. මේක මම නිසි ප්‍රමිතියට තමයි හදලා තියෙන්නේ. මේක තට්ටු පහක මගේ නිවස. පදිංචි නිවස මම. කම්පැනියකට තමයි දීලා මේක හදලා තියෙන්නේ. නමුත් ඉංජිනේරියන් කෝපරේෂන් එකෙන් තමයි සම්පූර්ණයෙන් අනුමැතිය අරන් තිබ්බේ කම්බි ගැනත් මේකට.
අනුර ලෙව්කේ මහතාගේ බිරිඳ,
අපි මේ ගෙදර හැදුවේ 2006. ඒ හදනකොට ඒ වෙනකොට ගන්න ඕන හැම අනුමැතියක්ම අපි අරගෙන තිබුනේ. අපිට හරිම කණගාටුයි ඇත්තටම මේ කැඩුනට වැඩිය මේ පල්ලෙහා පවුලක්ම නැති වෙච්ච එක ගැන. අනුර ලෙව්කේ මහතාගේ පුත්‍රයා, මම උඩම තට්ටුවේ නිදා ගන්නේ. අම්මියි, අප්පච්චියි, නංගියි නිදා ගන්නේ උඩ ඉදන් තුන්වැනි තට්ටුවේ යට. මගේ ඇඳ හෙල්ලිලා එක පාරටම පාන්දර මට ඇහැරුනා. මම හිතුවා ඒක මොකක්හරි හීනයක් මම දැකපු එකක් කියලා. මං පොඩ්ඩක් බලාගෙන ඉද්දී මට තෙරුණා වැටවල් සද්ද වෙනවා. බල්ලෝ බුරනවා අමුතු විදිහට. එහෙම සද්ද ආපු වෙලාවේ මං එහෙමම අම්මිට කෝල් එකක් දීලා ඇහුවා අම්මි මොකක්හරි සද්දයක් එනවා නේද හොරෙක් ඇවිල්ලද කියලා. සමරසිංහ අංකල් අම්මිට කියලා තියෙනවා මිසිස් ලෙව්කේ ඔයාලගේ ගෙදර කණුවක් පුපුරාගෙන යනවා ටක් ගාලා ගෙදරින් යන්න එළියට කියලා. රෝලර් ගේට් එක කොහොම ඇරුනද කියලා මතක නෑ. එහෙමම වාහනේ යතුර ගත්තා. වාහනේ ස්ටාර්ට් කරලා රිවර්ස් කළා. රිවර්ස් කරද්දිත් පාරයි ගෙදරයි අතර ගැප් එකක් තිබ්බා. අම්මිලා අප්පච්චිලා ඔක්කෝම වාහනේට දා ගත්තා. එහෙම්ම එතෙන ඉන්න බෑ. මොකද අපි දන්නේ නෑ නේ කොහොම කොතනින් කඩාගෙන යයිද කියන එක. වාහනේ අරගෙන ගියා මං ක්ලබ් එක පැත්තට. ලේක් ක්ලබ් එක පැත්තට. යන ගමනුත් මගේ කෝල් ලොග් එකේ දැනටත් තියෙනවා මං පොලීසියට ඉන්ෆෝම් කරලා තියෙනවා හරියටම පාන්දර පහට. ඔය ටික වෙලා තියෙන්නේ අම්මිගේ කෝල් එකත් පොලීසියේ කෝල් එකත් අතර තියෙන්නේ විනාඩි හතයි.
නිවසේ හිමිකරුවන් අලුයම 5.00 ට නිවසින් පිට වූ බව ප්‍රකාශ කළත් පොලීසිය ඊයේ පැවසුවේ, අලුයම 3 - 4 ත් අතර නිවස කඩා වැටීමට පෙර අනතුරක පූර්ව ලක්ෂණ පහළවීමත් සමග ඔවුන් නිවසින් ඉවත්ව ගොස් ඇති බවයි. ඔවුන් අනතුර පිළිබඳව අසල්වැසියෙකු හෝ පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන නොමැති බව ද පොලීසිය පැවසීය. එලෙස දැනුවත් වීමක් ලැබුනේ නම් වහා ක්‍රියාත්මකවී යාබද නිවාසවල ජනතාව ඉවත් කිරීමට හැකියාවක් තිබූ බව ද පොලීසිය පැවසුවේ ය. මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාර්ගයේ පිහිටි මෙම පස්මහල් නිවස ගිලා බෑසීම නිසා ඊයේ කුඩා බිළිඳියක සහ ඇගේ මව්පියන් මිය ගියහ. මිය ගිය තිදෙනාගේ දේහයන් ඔවුන් පදිංචිව සිටි නිවස ඉදිපස ඇති ඔවුන්ට අයත් සංචාරක හෝටලය තුළ තැන්පත් කෙරුණි. https://www.facebook.com/NewsfirstSL/videos/334407817822552/