ඩොලර් ට්‍රිලියන 2ක් ගැන හෙළිදරව්වක්...

ඩොලර් ට්‍රිලියන 2 ක ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණයක තොරතුරු හෙළිවෙයි

by Staff writer 21-09-2020 | 9:24 PM

COLOMBO (News 1st) - ලොව විශාලතම වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන රැසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි නායකයන්ට අයත් බවට සැකකෙරෙන නීති විරෝධි ලෙස උපයන ලද ඩොලර් ට්‍රිලියන 2 කට අධික මුදලක්, බැංකු හරහා සංසරණය කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි රහසිගත ලිපිගොණුවක් හෙළිකර තිබේ.

අදාළ රහසිගත ලිපිගොනුවෙහි දැක්වෙන්නේ, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ජාත්‍යන්තර බැංකුවක ගිණුම් හරහා වංචනිකව හුවමාරු වූ මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 80 ක් බවයි. එම බැංකුව, 2013 සහ 2014 වසරවලදී සිය අමෙරිකානු ව්‍යාපාරය ඔස්සේ හොංකොංහි ගිණුම් වෙත මෙම මුදල් යැවූ බව සඳහන් ය. කෙසේ වෙතත් තමන් සෑම විටම නීත්‍යානුකූලව කටයුතු කළ බව එම බැංකුව පැවසුවේය. මුදල් විශුද්ධිකරණ චෝදනා මත මෙම බැංකුවට අමෙරිකාව ඩොලර් බිලියන 2 කට ආසන්න දඩ ගැසීමෙන් පසුව බැංකුව මෙම වංචනික ක්‍රියාවට සහය දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බැංකුව එම දඩ ගැසීමෙන් පසු එවැනි ක්‍රියාවලින් වළකින බවට ප්‍රතිඥා දී තිබුණි. ෆින්සෙන් (FinCEN FILES)යනුවෙන් හැඳන්වෙන මෙම ලිපිගොනුවලින් හෙළි වූ තව ත් කරුණක් වන්නේ අමෙරිකාවේ විශාලතම වාණිජ බැංකුවක් , රුසියානු / යුක්‍රේන පාතාල කල්ලි නායකයකු වන සෙමියොන් මොගිලෙවිච්ට අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික නීතිවිරෝධී මුදල් සංසරණයට ඉඩ ලබාදී ඇති බවයි. 1990 දශකයේ නීතිවිරෝධී ක්‍රියාවලින් විශාල ධනයක් ඉපැයූ මොගිලෙවිච් ආයුධ ජාවාරම, කුලී මිනී මැරුම් සංවිධානය, මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා ජාවාරම ඇතුළු අපරාධ රැසක් ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක කළ බව සඳහන් වේ. තව ත් ලොව ප්‍රමුඛපෙළේ වාණිජ බැංකුවක් තලේබාන් ත්‍රස්ත සංවිධානයට අයත් මුදල් විශුද්ධිකරණයට ඉඩ දුන් බව අදාළ ලිපිගොනු මගින් අනාවරණය කර ඇත. ෆින්සෙන් ලිපිගොනු මගින් හෙළිදරව් කළ වාර්තා ප්‍රමාණය 2567 ක් වන අතර ඉන් වාර්තා 2100 ක්ම සැකසහිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම බැංකු හරහා මුදල් විශුද්ධිකරණය සිදු වූ අයුරු සහ අපරාධකරුවන් සිය මුදල් සැඟවීමට නම්හෙළිනොවූ බ්‍රිතාන්‍ය සමාගම් යොදාගත් ආකාරය මින් හෙළිකර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/746278045931671/