වෙනස්කම්වලට අනුව මහ බැංකුව වෙනස් විය යුතුයි

මහ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන වෙනස්කම්වලට අනුව වෙනස් විය යුතුයි - ඇමති විමල්

by Staff writer 20-09-2020 | 9:17 PM

COLOMBO (News 1st) –  මහ බැංකුව සහ අනිකුත් මූල්‍ය ආයතන නව තත්වයන්ට ගැලපෙන ආකාරයට හැඩ ගැස්වීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 2020 කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය අමතමින් ය. හම්බන්තොට, මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති සම්මන්ත්‍රණයේදී කොවිඩ් 19 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය මහාචාර්ය ලක්ෂ්මන් ආර්.වටවල මහතා විසින් අග්‍රාමාත්‍යතුමා වෙත භාර දෙනු ලැබුවේ ය. මෙම අවස්ථාව සඳහා චමල් රාජපක්ෂ මහතා, විමල් වීරවංශ මහතා , මහින්ද අමරවීර මහතා , අජිත් නිවාඩ් කබ්රාල් මහතා යන අමාත්‍යවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි කියලා කිව්වොත් නිවැරදියි. එය අපේ රටේ සෑම අංශයකම නියෝජනය වීම වැදගත්.අපිට සතුටු වෙන්නට පුළුවන්. අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් සීයට පනස් දෙකක් නිවැරදි කිරීමට යටත්ව පමණක් එම අංශයේ දායක වෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගය ඇතුව කොවිඩ් 19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා වූ රුපියල් බිලියන තිස් තුනක මුදලක් ප්‍රදානය කිරීමට වෙන් කිරීමට හැකි වීම අපිට සතුටක්. අපි පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලී අනුපාත හඳුන්වලා දෙමින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ණය ඇපකර ලබාදීම ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැවත නගා සිටුවන්නට අවශ්‍ය පියවර ගත්තා. වත්කම් හිඟ වීම නිසා අලුතින් පිහිටුවන සම පාර්ශවීය ඇපකරුවන් ඉදිරිපත් කළ නොහැකි කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් , විදේශීය මුදල් ලබා දෙන ආයතනවල සහය ලබා ගෙන මෙම ආයතන පිහිටු වීම සඳහා අපගේ සහයෝගය අප ලබා දෙනවයි කියන එක මම මතක් කරනවා.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා
අපේ මහ බැංකුව සහ මහ බැංකුවත් එක්ක බැදිච්ච අනිකුත් මූල්‍ය ආයතන ඒවා මේ අලුත් පරිවර්තනයට ඕන කරන ආකාරයට හැඩ ගැස්වීම අත්‍යවශ්‍යයි. දැන් මේ තියන නව තත්ත්වයට මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි නව තත්ත්වයක්. කොරෝනාවලින් පසුව තියන නව තත්ත්වයක්. අද ලෝකයේ ගුවන් තොටුපොළවල් වහලා. හැබැයි අපිට කන්ටේනර් යවන්න පුළුවන්කම තියනවා. අලුත් වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වෙනවා.පරණ වෙළෙඳපොළ අත්පත් කරගෙන හිටපු අයට දැන් නිෂ්පාදනය කරගන්න විදියක් නෑ. මේ ඇති වෙන විශේෂ අවස්ථාවට ඕන කරන විදියේ විශේෂ වෙනස්කම් ටික වෙන්න ඕන. ඒක අපේ ඔළුව තුළ වෙනස්කම වෙන්න ඕන.ඒ වගේම ආයතනය තුළ වෙනස්කම වෙන්න ඕන.මහ බැංකුව ඇතුළේ ඒ වෙනස්කම වෙන්න ඕන. මහ බැංකුවෙන් ඒ වෙනස්කම අනිකුත් මුල්‍ය ආයතනවලට ගලා ගෙන යන්න ඕන. ඒ වෙනස්කම වෙන්නේ නැත්නම් ඒ වෙනස්කම කරන්න පුළුවන් අය ඒ ආයතනවලට පත් කරන්න ඕන.එහෙම නැතුව අපි තවදුරත් සාමාන්‍ය කාලයක වගේ බලාගෙන හිටියොත් අවස්ථාව අපිව අත හැරලා යනවා. අපි අවස්ථාව දිහා ඔහේ බලාගෙන හිටපු ජාතියක් හැටියට තමයි ඉතිහාස පොතේ ලියවෙන්නේ .
මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා
මුදල් ප්‍රමාණයක් අපේ රටේ තියනවා . දැවැන්ත මුදල් ප්‍රමාණයක්. බැංකුවල තියනවා. තැන්පතුම රුපියල් බිලියන 9000 ක්. බිලියන 9000 ක්. ෆිනෑන්ස් කම්පැනිවල තවත් බිලියන 1000 ක් තියනවා. බිලියන 10,000 ක් අපේ රටේ තැන්පතුවලින් තියනවා . සීයට එකක් කියලා කියන්නේ මිලියන සීයක්. ඉතින් මේ මිලියන සීයට අපිට යම් ආකාරයකට වෙනසක් කරන්න පුළුවන් නම්, ඒක කොටස් වෙළෙඳපොළට යන්න පුළුවන් නම් එතකොට කොටස් වෙළෙඳපොළේ සෑහෙන්න ලොකු ප්‍රගතියක් ඇති වෙනවා