අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම භාර ගන්නෑ

අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම භාර ගන්නේ නැහැ - හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

by Staff writer 20-09-2020 | 9:00 PM

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමේ වගකීම තමන් කිසිසේත් භාර නොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළේ ය.

ඒ , එම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හතරවැනි දිනටත් සාක්ෂි දෙමින් ය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, සහරාන් හෂිම් අත්අඩංගුවට නොගැනීම පිටුපස දේශපාලන බලපෑම් පැවතිය හැකි බවයි. වවුනතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඩීම , වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබියදී එය භයානක බව නොවැටහුණේ දැයි මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ ය. එහිදී හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, තමන්ට එය වැටහුණු බවත් නැගෙනහිර දේශපාලන ක්‍රියාවලියේ හැසිරීම අනුව ඔවුන් රජයට කොයිතරම් අවශ්‍ය ද කියන කරුණ සැළකිල්ලට ගනිද්දී පියවරක් ගැනීම කළ හැකි දෙයක් නොවන බවත් ය. නැගෙනහිර දේශපාලඥයින් හැසිරුණු ආකාරය නිසා පොලීසියට නීතිය ක්‍රියාත්මක කිරිමේ බාධා එල්ලවූ බවද ඔහු කියා සිටියේ ය. ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ගේ මට්ටමින් කළ යුතුව තිබූ බව ද ඔහු කියා සිටියේ ය. නැගෙනහිර දේශපාලඥයින් සමග අර්බුදයක් ඇතිකර ගැනීමට හිටපු ජනාධිපතිවරයාට උවමනාවක් නොතිබූ බවද ඔහු කියා සිටියේ ය. ඔහු පැවසුවේ තමන්ට අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම භාරගත නොහැකි බවයි. තමන් රාජකාරිය පැහැරහැර නොමැති බව ද ඔහු කියා සිටියේ ය.