ජනපති කොමිසම රනිල් සාක්ෂිකරුවෙකු ලෙස නම් කරයි

හිටපු අගමැතිවරයා සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් තීරණයක්

by Staff writer 19-09-2020 | 7:58 PM

COLOMBO (News 1st) - දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත්ව ඇති පැමිණිලි කිහිපයකට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීමට එම කොමිසම අද තීරණය කර තිබේ.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ලට අදාළව මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා කොමිසමට ලබා දුන් සාක්ෂි සලකා බලා එම තීරණය ගත් බවයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දෙවැනි දිනටත් පෙනී සිටියේ ය. මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක මෙන්ම එම්. ඒ සුමන්දිරන් යන මහත්වරුන් ද අද කොමිසම හමුවේ පෙනී සිටියහ. ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් කොමිසමට කළ පැමිණිලිවලට අදාළවයි. දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් පත්කිරීමේදී  ස්වෙච්ඡාවෙන් ඉවත් වූ සේවකයන්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම මෙන්ම ඉසුරු මත් නිවාස ව්‍යාපෘතීයෙන් සහන ලබාදීමේ සිද්ධින්වලට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිලි කර තිබුණි. 2015 වසරට මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව දිවිනැගුම ලිත් මුද්‍රණය කිරීම ඇතුළු  සිද්ධින් කිහිපයකට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවට කිත්සිරි රණවක මහතා කොමිසමට පැමිණිලි කර තිබේ. ඒ අනුව මෙම පැමිණිලිවලට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/981535818978965/