සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකුම මන්දපෝෂණය

සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකුම මන්දපෝෂණය - එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන

by Staff writer 19-09-2020 | 7:11 PM

COLOMBO (News 1st) - ලොව පුරා මිලියන 690 ක ජනතාවක් සෑම රාත්‍රියකම කුසට ආහාරයක් නොමැතිව නින්දට යනු ඇත.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ, ඔවුන් අතරින් සෑම තුන්දෙනෙකුගෙන් එක් අයෙකුම මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ හැම වසරකම පළතුරු හා එළවළු ටොන් 270,000 ක් පමණ නාස්ති වන්නේ අපේ ආර්ථිකයට රුපියල් බිලියන 20 කට ආසන්න අලාභයක් සිදු කරමිනි. 2050 වනවිට ලෝකයේ ජනගහනය බිලියන 9.1 දක්වා ළඟා වනු ඇති අතර එය වර්තමාන ලෝක ජනගහනයට සාපේක්ෂව 34% ක ඉහළ යාමකි. ජනගහනය ඉහළයාමට සාපේක්ෂව ආහාර නිෂ්පාදනය හා එහි වැදගත්කම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන පෙන්වා දෙයි. පශ්චාත් අස්වනු තාක්‍ෂණ ආයතනයේ දත්තවලට අනුව අපේ රටේ එළවළු හා පළතුරු ආදායමෙන් 30% - 40% ත් අතර ප්‍රමාණයක් නාස්ති වෙනු ඇති. අපේ රටේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම 21% කි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් 73% කට ප්‍රමාණවත් පළතුරු හා එළවළු ලබා ගත නොහැකිය. තත්ත්වය එසේ තිබියදී බොහෝ අවස්ථාවල එළවළු සහ පළතුරු ඉවත දමා සත්ත්ව ආහාර ලෙස විකුණන අවස්ථා මෙන්ම කසළ ලෙස විනාශ වන අවස්ථා ද බහුලය. රටේ වගා සැලැස්මක් නොමැතිකම, ගොවියාට සාධාරණ මිලක් නොලැබීම, පාරිභෝගිකයාට ඉහළ මිලදී ගැනීමේ පිරිවැය සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය අඩුවීම නිසා අස්වැන්නේ අතිරික්තයක් නිර්මාණය බව මේ සම්බන්ධයෙන් නිකුත් වූ විකණකාධිපති වාර්තාව පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ මේ හේතුවෙන් අපේ රටේ ගොවි ජනතාව නිෂ්පාදනය කරන කෘෂි නිෂ්පාදන ද රැසක් නිකරුනේ විනාශ වී යන බවයි. අහාර නාස්තිය වැළක්වීමට නම් ප්‍රවාහන හා ඇසුරුම් ක්‍රියාවලියේදී සිදුවන පාඩුව පාලනය කිරීම සඳහා සුදුසු ඇසුරුම් ක්‍රම හඳුන්වා දීම, රට තුළ අපනයන පහසුකම් ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදකයින්ට සාධාරණ මිලක් ලැබීම සහතික කිරීම සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍යයි. රටේ පසු අස්වනු හානිය අවම කිරීම සඳහා විකල්ප විසඳුමක් ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ එළවළු හා පළතුරු අපනයන වෙළෙඳපොළ පුළුල් කර යුතු බවට නිර්දේශ කර තිබේ. 2018 දී ශ්‍රී ලංකාව රටවල් 11 කට ආසන්න වශයෙන් අපනයනය කළේ, එළවළු මෙට්‍රික් ටොන් 24,845 ක් සහ පළතුරු මෙට්‍රික් ටොන් 76,997 ක් පමණි. මෙම සංඛ්‍යාලේඛන රටේ සමස්ත නිෂ්පාදනයෙන් දළ වශයෙන් 2% - 4% ත් අතර වන අතර අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම හරහා මෙම අංශයේ මිල ස්ථායීතාවයට යම් ප්‍රමාණයකට දායක වියහැකි බව අදාළ වාර්තාවෙන් අවධාරණ කරනු ඇත.