ජනපති පැහැදිලි කළ රටටම ඇති පොදු ප්‍රශ්නය

රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීමයි - ජනපති

by Staff writer 18-09-2020 | 8:58 AM

COLOMBO (News 1st) - රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ රාජ්‍ය හා , පෞද්ගලික දෙඅංශයේම මන්දගාමී ක්‍රියාකාරීත්වය කණගාටුවට කරුණක් බවයි. කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් සෑම දවසකම එකම මට්ටමක තිබීම ඊට නිදසුනක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අරඹා ඇති සියලු ඉදිකිරීම් කඩිනමින් නිම කළ යුතු බව ද පැවසුවේය. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. ආකල්ප වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදි ඉල්ලීමක් කළේය. ග්‍රාම සේවා වසම් මට්ටමෙන් අඩු අදායම්ලාභීන්ට නිවාස 14,022ක් ඉදිකරමින් පවතින බව සාකච්ඡාවේදි හෙළි වූ  අතර ව්‍යාපෘතිය යටතේ වසර 05 ක් අවසානයේ නිවාස 70,100ක් ඉදිකිරීමට අපේක්ෂිතයි. නිවාස මිලදී ගැනීමට 6.25% වාර්ෂික පොලී අනුපාතයකට තිස් වසරකින් ගෙවී අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සැකසීමට ද සාකච්ඡාවේදි තීරණය කෙරුණි. රට පුරා පවුල් පන්ලක්ෂ විසි හය දහසකට අධික සංඛ්‍යාවකට වැසිකිළි නැති බව පෙන්වා දුන් සාකච්ඡාවට එක් වූ ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සනිපාරක්ෂක පහසුකම් සම්පාදනය කඩිනම් කරන්නැයි ද මෙම සාකච්ඡාවේදී පැවසුවේය.