කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

by Staff writer 18-09-2020 | 4:42 PM

COLOMBO ( News 1st ) : සබරගමුව, මධ්‍යම , බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත් - 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසයි.

රතු නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ, හෙට පස්වරු 4 .00 දක්වා එම නිවේදනය බලපැවැත්වෙන බවයි. දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බැවින් දිවයිනේ නිරිතදිග කොටසේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසයි. මේ අතර මඩකලපුව සිට ත්‍රීකුණාමලය, කන්කසන්තුරේ සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි. කොළඹ සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3 ත් පමණ ඉහළ යාමේ අවදානමක් පවතිනු ඇති. මේ පිළිබඳව ධීවර හා නාවුක ප්‍රජාව අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. https://www.facebook.com/watch/?v=780541306092140&extid=gQtdDQApnjCAAujv