ජේ. ආර් ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දිනය අද යි

ජේ. ආර් ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දිනය අද යි

by Staff writer 17-09-2020 | 4:46 PM

COLOMBO (News 1st) - දිවංගත ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ 114 වැනි ජන්ම දිනය අදයි.

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ගුණ සිහිපත් කරමින් අද පෙරවරුවේ සැමරුම් උත්සවයක් පැවැත්වුණේ, පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේදී ය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර පුද කෙරුණි. ඇග්නස් හෙලේනා ජයවර්ධන සහ ඊ. ඩබ්ලිව් ජයවර්ධන යුවළගේ වැඩිමහල් දරුවා ලෙස ජූනියස් රිචඩ් ජයවර්ධන මෙලොව එළිය දුටුවේ 1906 වසරේ අද වැනි දිනකදීය. ප්‍රාථමික අධ්‍යාපනය ලද සමයේ සිට කැපී පෙනෙන දක්ෂතා දැක්වු ඔහු ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. 1925 දී කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරූ ජයවර්ධන මහතා කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය ප්‍රිය කළේ ය. නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් පසු, එලීනා බණ්ඩාර රූපසිංහ මෙනෙවිය සමග ඔහු විවාහ වූයේ 1935 දීය. ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1943දී කැලණිය ආසනය ජයගනිමින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇතුළත් විය. 1946 වසරේ සැප්තැම්බර් මහ 6 වැනි දා ඇරඹි එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සමභාණ්ඩාගාරික ධුරය හෙබවූයේ ද තරුණ ජේ. ආර් ජයවර්ධන මහතායි. මෙරට පළමු මුදල් අමාත්‍යවරයා ලෙස මහජන සේවය ඇරඹු ඔහු 1973 ඩඩ්ලි සේනානායක අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගත්තේ ය. පක්ෂය බලයට ගෙන එමින් 1978 දී මෙරට පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වූයේ ද ජේ.ආර්.ජයවර්ධන මහතායි. ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම, විවෘත ආර්ථික ක්‍රමය, කඩිනම් මහවැලි ව්‍යාපාරය, මහ කොළඹ ආර්ථික කොමිසම, නිවාස හා නාගරික සංවර්ධනය, ජේ. ආර් යුගයේ කැපී පෙනුණු සිදුවීම්. ක්‍රියාකාරි දේශපාලනයෙන් සමුගත් ජේ. ආර් ජයර්ධන මහතා 1996 වසරේ නොවැම්බර් මස පළමු වැනි දා අභාවප්‍රා‍ප්ත විය.