මරණ තර්ජන කිරීම: දෙවැනි සැකකරු 'පොඩි ලැසී'

ජනපතිට, ආරක්ෂක ලේකම්ට හා නිලධාරීන්ට තර්ජනය කළ සිද්ධියේ සැකකරුවෙකු ලෙස 'පොඩි ලැසී' නම් කෙරේ

by Staff writer 17-09-2020 | 9:05 PM

COLOMBO (News 1st) - බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ නඩුවේ දෙවැනි සැකකරු ලෙස සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුශංක හෙවත් 'පොඩි ලැසී' නැමැත්තා අද නම් කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. 'පොඩි ලැසී' නැමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා ඉදිරිපත් කළ මෝසමකට අනුවය. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි රැකවල් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරයේ සිට ඔහු අධිකරණයට රැගෙන ආ අතර ගාල්ල අධිකරණ සංකීර්ණයට ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි. බන්ධනාගාරයට ගොස් පොඩි ලැසීගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, පොඩි ලැසී ලබන 25 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධර්මකීර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නමැත්තා ද මෙම සිද්ධියට සම්බන්ධ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/332364221543880/