එංගලන්තයට එරෙහි එක්දින තරගාවලි⁣යේ ජය ඔස්ට්‍රේලියාව

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලි⁣යෙන් ඔස්ට්‍රේලියාවට තරග 2-1ක ජයක්

by Staff writer 17-09-2020 | 9:30 PM

News 1st - සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියෙන්, සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2 ට 1 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

තුන්වැනි සහ අවසන් තරගය ඔවුන් ජය ගත්තේ කඩුලු 3 කිනි. මැන්චෙස්ටර්හි පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 302 ක් රැස් කර ගත්තේය. ඉනිමේ පළමු පන්දු දෙකෙන්ම කඩුලු දෙකක් දවා ගැනීමට මිචෙල් ස්ටාක් සමත් වීම විශේෂත්වයකි. ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටොව් එක්දින පිටියේ 10 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 112 ක් රැස් කළේ ය. සෑම් බිලින්ග්ස් ලකුණු 57 ක් රැස් කළ අතර ක්‍රිස් වෝක්ස් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේය. පන්දු යැවිමේදි මිචෙල් ස්ටාක් සහ ඇඩම් සම්පා කඩුලු 3 බැගින් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී තිබියදී ජය වාර්තා කිරීමට සමත් විය. ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 73 ක්දී බිඳ වැටුණේ තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු එංගලන්තය දෙසට යොමු කරමිනි. 6 වැනි කඩුල්ල සඳහා පිටියට එක් වූ ඇලෙක්ස් කේරී සහ ග්ලේන් මැක්ස්වෙල්ගේ ලකුණු 212 ක විශිෂ්ට සබඳතාව ඔස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කළ අතර ඔවුන් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කර ගත්තේ ඉන් පසුවයි. මංගල එක්දින ශතකය වාර්තා කළ ඇලෙක්ස් කෙරී ලකුණු 106 යි. ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 90 කින් ලකුණු 108 ක් රැස් කළේ, හතරේ පහර 4 ක් සහ හයේ පහර 7ක් ද සමගිනි. එය ඔහුගේ දෙවැනි එක්දින ශතකයයි. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් සහ ජෝ රූට් කඩුලු 2 බැගින් බිඳ දැමුවේය. තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානය හිමි වුණේ ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්ටයි.