ප්‍රදේශ කිහිපයදී නීතිවිරෝධී ගිනි අවි සමග 8ක් දැලේ

ප්‍රදේශ කිහිපය කළ වැටලීම්වලින් නීතිවිරෝධී ගිනි අවි සමග 8 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 16-09-2020 | 11:54 AM
 

COLOMBO ( News 1st ) - විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් ඇතුළු ආයුධ සමග සැකකරුවන් තුන්දෙනෙකු දික්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ .

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලීමකදීය. සැකකරුවන් සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර 02 ක්, බෝර 12 ගිනි අවියක් සහ මිලිමීටර් 3.8 වර්ගයේ සජීව පතොරම් 05 පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 39, 45 සහ 27 යන වයස්වල පසුවන දික්වැල්ල, වලස්ගල සහ නාකුළුගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා දික්වැල්ල පොලීසියට භාර දී තිබේ. මේ අතර, බෝර 12 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු රුවන්වැල්ල, ඩෙස්මන්හිල් වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කළ වැටලීමකිනි. එම සැකකරුවන් 60 සහ 42 හැවිරිදි වියේ පසුවන ගල්පාත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ අතර යක්කලමුල්ල, උඩුවැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකින් විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 39 හැවිරිදි උඩුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යක්කලමුල්ල, වත්තහේන ප්‍රදේශයේ කළ වැටලීමකින් ද, මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු 46 හැවිරිදි උඩුවැල්ල, මාගෙදර පදිංචිකරුවෙක් බවය. මේ අතර, විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු උඩුගම නාකියාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ලද තොරතුරක් මත කළ වැටලීමකදීය. පොලීසිය පැවසුවේ, සැකකරු 31 හැවිරිදි නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. මැදවච්චිය, පිහිඹියගොල්ලෑව සුසාන භූමියේ තිබී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සොයා ගැනීමට පොලීසිය සමත්විය. ඒ, ලද තොරතුරක් මත කළ සෝදිසි කිරිමකදීය. වැඩිදුරටත් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේය.