රජයේ පත්වීම්:අභියාචනා සලකා බැලීම අද සිට

රජයේ පත්වීම් නොලැබුණු පුද්ගලයින් යොමු කළ අභියාචනා සලකා බැලීම අද සිට

by Staff writer 16-09-2020 | 8:12 AM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ තනතුරු සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහනේදී පත්වීම් නොලැබුණු පුද්ගලයින් යොමු කළ අභියාචනා සලකා බැලීම අද සිට ආරම්භ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ, එම අභියාචනා භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වූ බවයි. අභියාචනා සලකා බැලීම විශේෂ කමිටුවක් හරහා සිදු කෙරෙනු ඇති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාර දී ඇති අභියාචනා අමාත්‍යාංශය වෙත යොමු කරන්නැයි උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය. ජේ.ජේ.රත්නසිරි මහතා පැවසුවේ එම අභියාචනා සලකා බැලීම සති දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි. රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවා ගත් අභ්‍යාසලාභී උපාධීධාරීන් 50,000 කට පුහුණුව ලබා දීම මේ වනවිට ආරම්භ කර තිබේ. අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව තවත් 10,000 ක් රාජ්‍ය සේවයේ තනතුරුවල පුහුණුවට බඳවා ගන්නා බව ද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.