by Staff writer 15-09-2020 | 4:24 PM
COLOMBO (News 1st) : පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වැඩ තහනම් කර සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ගොනු කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළේය.
පෙත්සම ගොනුකර තිබුණේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රභූ ඝාතන සඳහා කුමන්ත්‍රණ කළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නියෝගයක් කරන ලෙස ඉල්ලමිනි.
ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් මේ වනවිට වැඩ තහනමට ලක්කර සිටින සිය සේවා දායකයාට වැඩ තහනම් කර සිටි කාලයේ හා ඉදිරි කාලය සඳහා අඩ මාසික වැටුපක් ගෙවීමට එකඟතාවක් ඇතිවන්නේ නම් හා එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන්නේ නම් පෙත්සම ඉල්ලා අස් කරගැනීමට සූදානම් බව අධිකරණයට පෙන්වා දුන්නේය.
පෙත්සම්කරුට මාසිකව අඩ වැටුප් ගෙවීමට මේ වන විටත් සළකා බලමින් පවතින බවත්, පෙත්සම්කරුගේ පළමුවෙනි ඉල්ලීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණය හමුවේ කියා සිටියේය.
කරුණු සලකා බැලූ පෙත්සම්කාර පාර්ශවය, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම නිශ්ප්‍රභ කරනු ලැබිණි.