වගා කළ නොහැකි කුඹුරු ඉඩම් පිළිබඳ තීරණයක්

වගා කළ නොහැකි කුඹුරු ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීමේ තීරණයක්

by Staff writer 15-09-2020 | 1:57 PM

COLOMBO (News 1st) - කුඹුරු ඉඩම් වශයෙන් හැඳින්වෙන නමුත් වගා කළ නොහැකි ඉඩම් සුදුසු සංවර්ධන කටයුත්තු වෙනුවෙන් හිමිකරුවන්ට නිදහස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පැවසුවේ, අදාළ ඉඩම් හිමිකරුවන් වෙත නිදහස් කිරීම සඳහා සරල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවය. වර්තමානයේ පවතින තත්ත්වය තුළ මහජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ජනාධිපතිතුමාගේ උපදෙස් මත එම පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ලේකම්වරයා පැවසුවේ, එවැනි ඉඩම් හඳුනා ගැනීම ප්‍රාදේශීය මට්ටමින් මේ වනවිට සිදුවන බවයි. එම කටයුතු අවසන් වූ පසු නව ක්‍රමවේදය හඳුන්වාදෙන බව ද ඔහු සඳහන් කළේ ය. මෙරට කුඹුරු ඉඩම් ඛාණ්ඩ තුනක් යටතේ වර්ගීකරණය වේ. එම වර්ගීකරණය වන්නේ, ඒ, බී , සී ලෙසයි. ඒ ඛාණ්ඩයට අයත් කුඹුරු ඉඩම්වල වී වගාව පමණක් සිදු කළ යුතු අතර වෙනත් කිසිදු කටයුත්තකට යොදා ගැනීමට අවස්ථාවක් නොමැති අතර එසේ සිදු කිරීම නීතිය උල්ලංඝණය කිරීමකි. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, බී ඛාණ්ඩයේ කුඹුරු ඉඩම්වල එක් කන්නයක හෝ වී වගාව, අපනයන භෝග වගාව හෝ එළවළු වගාව සිදුකළ හැකි බවයි. කිසිදු වගාවක් කළ නොහැකි කුඹුරු ඉඩම් සී ඛාණ්ඩයට අයත් වන අතර එවැනි ඉඩම් හිමිකරුවන්ට සුදුසු සංවර්ධනයක් වෙනුවෙන් නිදහස් කිරීමට එලෙස තීරණය කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1458968064313631/