මහනුවර කම්පන සිද්ධිය: ත්‍රිපුද්ගල කමිටුවක්

මහනුවර කම්පන සිද්ධිය විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

by Staff writer 15-09-2020 | 10:33 AM

COLOMBO (News 1st) - මහනුවර ප්‍රදේශ කිහිපයක ඇති වූ කම්පන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරිමට තීරණය කර තිබේ.

භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, එම කමිටුව මහාචාර්යවරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත වන බවය. පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් හා ආචාර්යවරුන් ඊට සම්බන්ධ කරගන්නා බව ඔහු සඳහන් කළේ ය. සභාපතිවරයා පැවසුවේ, අදාළ කම්පන තත්ත්වයන්ට බලපාන හේතු සහ ඊට දිය හැකි දීර්ඝ කාලීන විසඳුම් පිළිබඳ අදාළ කමිටුව මගින් විද්වත් උපදෙස් ගැනීමට අපේක්ෂා කරන බවයි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දා කම්පන තත්ත්ව කිහිපයක් වාර්තා විය. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ, පසුගිය 11 වැනි දා ද රාත්‍රී 11.30ට පමණ කම්පන තත්ත්වයක් සිදුව ඇති බවයි. එම කම්පන තත්ත්වය කුණ්ඩසාලේ, පන්විල සහ වත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට දැනී තිබේ. භූ චලන නිරීක්ෂණ මධ්‍යස්ථාන 04 ක එම කම්පන තත්ත්වය සටහන් වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේ ය. මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම කම්පන තත්ත්වය එම ප්‍රදේශයෙන් වාර්තා විණි.