පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනයට උපදෙස්

පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි උත්පාදනයට සැලසුම් හදන්න - ජනපතිගෙන් උපදෙස්

by Staff writer 15-09-2020 | 7:50 AM

COLOMBO (News 1st) - 2030 වසර වනවිට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළ යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විඳීමට හැකි තිරසර සංවර්ධනයකට මග පාදනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බවය. සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය. ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළ යුතුයයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14 කදී ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බවයි. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි පැවසු ජනාධිපතිවරයා ඊට අවශ්‍ය සහය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දුන්නේ ය. ටෙන්ඩර් පරිපාටියෙන් තෝරාගන්නා සියලු ව්‍යාපෘති මාස තුනකදී ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළ යුතුබව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දේශගුණික විපර්යාසය නිසා ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටින බවයි. මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම 6% ක් බව ද නිවේදනයේ සඳහන් ය. සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමග බලශක්ති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි මේ වනවිට ගණන් බලා තිබේ.