2/3 රජය ගැන චීනය කතා කරයි

2/3 රජයක් නිසා වේගවත්ව කටයුතු කිරීමට මෙය හොඳ අවස්ථාවක් - ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති

by Staff writer 14-09-2020 | 7:46 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වේ මහතා අද ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුණේ, තුනෙන් දෙකක බහුතර බලයක් ඇති රජයක් පිහිටුවා ඇති බැවින් උපාය මාර්ගික සහයෝගිතාව හරහා වේගවත්ව හා පුළුල්ව කටයුතු කිරීමට මෙය කදිම අවස්ථාවක් බව ය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතාවය ආර්ථික සංවර්ධනයට පමණක් සීමා නොවන අතර එය උපාය මාර්ගික හවුල්කාරිත්වයක් බව ද ඔහු සඳහන් කර තිබේ. බටහිර රටවල් යෝජනා කරන නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් සංකල්පය පිළිබඳ චීනයේ අපේක්ෂාව පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී කරුණු මතු විය. එහිදී තානාපතිවරයා පැවසුවේ, අදාළ සංකල්පය සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු ගැටලුවක් නොමැති බවය. නමුත් එය චීනයට පහර දීමට නිදහසට කරුණක් වශයෙන් යොදා ගැනීම කනගාටුවට කරුණක් බව වැඩබලන තානාපතිවරයා පෙන්වාදී තිබේ. මේ අතර මහජන චීන හමුදාව පිළිබඳව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව පසුගිය දා නිකුත් විය. එම වාර්තාවේ සඳහන් වූයේ, චීනය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක හමුදා සේවා සැපයුම් පහසුකම් ස්ථාපනය කිරීමට සලකා බලමින් සිටින බවය. මේ මගින් දුර ප්‍රමාණය වැඩි වුවත් හමුදා බලය රඳවා ගැනීමට චීනයට අවස්ථාවක් ලැබෙන බව එම වාර්තාවේ සඳ‍හන් ය. නමුත් මෙරට වැඩබලන චීන තානාපතිවරයා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ, ඉන්දු පැසිෆික් විධානය තුළ මේ වනවිටත් ලක්ෂ 3 ක අමෙරිකානු හමුදා සාමාජිකයින් ක්‍රියාකාරීව සිටින බවයි. දැනටමත් අමෙරිකාවට ඉන්දීය සාගර කලාපය තුළ හමුදා කඳවුරු ඇති බව ද ඔහු පෙන්වා ද දෙයි. හූ වෙන් මහතා පවසන්නේ, චීනයට මෙම කලාපයේ හමුදා කඳවුරු හෝ විධානයන් නොමැති බවය. නිදහස් විවෘත කලාපයට තර්ජනයක් වී ඇත්තේ කවුරුන්දැයි ප්‍රශ්න කරන වැඩ බලන තානාපතිවරයා කලාපය ගැන වැඩියෙන් වදවීමට හේතු ඇත්තේ කාටදැයි ප්‍රශ්න කර තිබේ.