තෙදිනක් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර හමුවෙයි

තෙදිනක් අතුරුදන්ව සිටි පාදුක්කේ තරුණයාගේ සිරුර හමුවෙයි: සුළු පියා අත්අඩංගුවට

by Staff writer 14-09-2020 | 9:58 PM

COLOMBO (News 1st) - තෙදිනක් අතුරුදන්ව සිටි තරුණයෙකුගේ සිරුර අද පෙරවරුවේ පාදුක්ක, මාරගහ, ලියැද්ද ප්‍රධාන ඇළ මාර්ගය් ලියන්වල ප්‍රදේශයේ තිබී හමු විය.

පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා සුළු පියා විසින් ඔහු අත්පා ගැට ගසා ඇළට දමා ඇති බව මුලික පරීක්ෂණවලදී හෙළි වූ බවයි. නීති විරෝධී මත්පැන් පානය කරමින් සිටියදී පාදුක්ක පොලීසිය ඊයේ රාත්‍රියේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ, අතුරුදන්ව සිටි තරුණයා තමා විසින් අත්පා ගැට ගසා පාදුක්ක, මාරගහ ලියැද්ද ප්‍රධාන ඇළ මාර්ගයට දැමූ බවයි. අදාළ සිදුවීමෙන් දින 3 කට පසු තරුණයාගේ සිරුර මෙලෙස සොයා ගැණුනේ ඔහුගේ පියා විසින් තරුණයා ඇළට දැමූ ස්ථානයට මීටර් 200 ක පමණ දුරකදී ය. මෙලෙස මියගොස් තිබුණේ තිලිණ දර්ශන නැමැති 18 හැවිරිදි පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. තරුණයාගේ සුළු පියා වයස අවුරුදු 29 ක පුද්ගලයෙක් වන අතර ඔහු මේ වනවිට පාදුක්ක පොලිස් අත්අඩංගුවේ පසුවේ. පොලීසිය පැවසුවේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි අනුමාන කෙරෙන බවයි. සැකකාර සුළු පියා හෙට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.