by Staff writer 14-09-2020 | 7:12 AM
COLOMBO ( News 1st ) : නකල්ස් රක්ෂිතයේ , පන්විල ඉහළ කලාපයේ සිදුකෙරෙන අනවසර එළිපෙහෙළි කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා අද දිනයේ නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ මහතා පැවසුවේ සංරක්ෂිතයට වනාන්තරයට අදාළව නීති විරෝධී කටයුත්තක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.
පරිසර නීති උල්ලංඝණය කරමින් නකල්ස් රක්ෂිතය තුළ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 කට ආසන්න භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කිරීමේ සිදුවීමක් ඊයේ වාර්තා විය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ එළවළු වගාවක් සඳහා එම එළිපෙහෙළි කිරීම සිදුව ඇති බවයි.
එළිපෙහෙළි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් එය පෞද්ගලික ඉඩමක් බව පවසා ඇතත් ඊට අදාළ ලිපිලේඛන කිසිවක් අදාළ ආයතන වෙත ඉදිරිපත් කර නොමැත.
රක්ෂිතය තුළ ඇති පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තොරතුරු ඇතත් මෙම ඉඩම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රදේශය භාර නිලධාරීන් සඳහන් කළේ ය.
පරිසර සංවිධාන පවසන්නේ මෙවැනි අධි සංවේදී පරිසර කලාපයක් තුළ සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් දැනුවත් නොකර තිබීම ද මවිතයට කරුණක් බවයි.